Sunday, May 25, 2014

ඇලන් බෝඩර් ක්‍රිකට්

2001 අවුරුද්දේ එක්තරා දවසක දෙයියාගේ තාත්තා දෙයියාටත් දෙයියාගෙ මල්ලිටත් කොම්පියුටරයක් අරගෙන දුන්නේය. ඒ කාල‍ෙ හැටියට හොඳයි කියා සැලකිය හැකි 166MHz පෙන්ටියම් 1 ප්‍රොසෙසරයක්, 32MB රැම් එකක්, 2GB හාඩ් එකක් හා 1MB වීඩියෝ මෙමරියකින් සැදුම් ලත් ඒකේ OS එක Windows 98 වුණි. ඒවා කෙසේ වෙතත් මේකෙන් කර ගත්ත වැඩ ගො‍ඩේ හැටියට මේකට නම් මල් තියලාම වඳින්න ඕනෑය.
මෙන්න මේ වගේ එකක් මේ කියන්නෙ... මේකම නෙවෙයි ඉතින්...
මේක ගන්න කොටම අපූරු ගේම් වගයක් දමා දෙන්නට කඩේ කට්ටිය කාරුණික වී තිබුණේය. ඉනුත් හොඳම ගේම් එක වුණේ "ඇලන් බෝඩර් ක්‍රිකට්"ය (Alan Border Cricket). ක්‍රිකට් පිස්සුව නියමෙටම තිබුණු ඒ කාලේ ඉස්කෝලේ හොස්ටල් එකේ සිට සිකුරාදාට ගෙදර එන්නේම ඇලන් බෝඩර් ක්‍රිකට් ගහන එක ගැන හිත හිතාය. ඒ වගේම ගන්න කොට නොතිබුණ ශ්‍රී ලංකා ටීම් එකකුත් හදා ගත්තේ අපේ උන් ලවා අනිත් ටීම් වලට පලු යන්න දෙන්නටය.

ඒ වුණාට අපට එහෙම ලේසියෙන් ක්‍රිකට් ගහන්නට ඉඩක් නොවුණේ ගමේ ට්‍රාන්ස්ෆෝමරයට පින් සිද්ද වන්නටය. හවස හය හත වන විට ඩිම් වන අපේ ගමේ ලයිට් ආයේ හරි යන්නේ රෑ දහයට විතර බැවින් ඒ කාලය තුළ කොම්පියුටරය දාගන්නට බැරිය. සිකුරාදාට නම් මේක එච්චර ගානක් නැත්තේ රෑ අටට විතර ගෙදර ආවොත් ඇඟපත සෝදගෙන කෑම කා කොහොමත් රෑ නවයේ සිට දහය දක්වා අයි. ටී. එන්. එකේ නයිට් රයිඩර් බලන බැවිනි. ඒත් දැන් වගේ එච්චරම ටීවී එකේ එල්ලිලා හිටපු කාලයක් නොවන බැවින් ගෙදර ඉන්න අනිත් දවස් වලට කාලා එහෙම ඉවර වෙලා සාලයේ බිම මෙට්ටයක් දාගෙන නිදාගන්න පුරුදු වුණේ ලයිට් හරි ගිය ගමන් කොම්පියුටරය ළඟට දුවන්නටය. අදටත් ගමේ ගිය විට ඒ විදියටම බිම නිදා ගන්න පුරුද්දක්ද ඒ නිසා ඇති වුණේය.

කොහොම හරි ඉතින් දවසක ඇලන් බෝඩර් ක්‍රිකට් වලටද කෙළ වුණේය. ඒ වෙන දෙයක් නිසා නොව රිසයිකල් බින් එක පිරී තියෙනවාට අකමැති බැවින් ෆයිල් එකක් මකන විය "ෂිෆ්ට් ඩිලීට්" කිරීමේ පුරුද්ද නිසාය. ගේම් ෆෝල්ඩර් එකේ තිබූ සේව් ෆයිල් එකක් ඕනෑ නැතැයි සිතා ඒ විදියට මකා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස සෑහෙන කාලයක් තිස්සේ ඇලන් බෝඩර් ක්‍රිකට් සෙටප් එක ගැන යාලුවන්ගෙන් අහලත් ගේම් සීඩී කඩ වල හොයලත් හොයා ගන්නට නම් බැරි වුණේය.

ඉතින් ඊටත් අවුරුද්දකට විතර පස්සේ ඉස්කෝලේ කොම්පියුටර් ලැබ් එකට යන්නට ලැබුණු පසු දවසක අහම්බෙන් ඒකෙ මැෂින් එකක තිබිල ඇලන් බෝඩර් ක්‍රිකට් හම්බ වුණාම දැනිච්ච සතුට නම් කියල නිම කරන්න බැරිය.
පොඩි කාලෙ ස්වීට් මෙමරීස්...
පස්සෙ කාලෙදි ලැප්ටොප් එහෙම ගත්තට පස්සෙ ඊ. ඒ. ක්‍රිකට් (EA Cricket) හා ඈෂස් ක්‍රිකට් (Ashes Cricket) වගේ දියුණු ගේම් ගහන්නට ලැබුණත් හා පුරා කියල කොම්පියුටරයෙන් ගහපු ක්‍රිකට් ගේම් එක වෙච්ච ඇලන් බෝඩර් ක්‍රිකට් නම් තාමත් අමතක වෙලාම නැතිය.

ඇලන් බෝඩර් ක්‍රිකට් ගහල තියෙන තව අය එහෙම ඇති නේද?

Saturday, May 24, 2014

වට වන්දනාව

යක්කල පදිංචියට ඇවිත් ටික කාලෙකින්ම දෙයියාගේ ගෙදර අයට යක්කල වටේ ඇති වැදගත් තැන් බලන්නට යාමේ ආසාවක් ඇති වුණේය. ඈත කඳු ගැටයක් මත ඇති ලස්සන පුංචි චෛත්‍යයක් හැම වෙලේම ගෙදර එක ජනේලයකින් පෙනෙන්නට තිබීමෙන් නිරන්තරයෙන් උත්තේජනය වූ ගම්පහ දිස්ත්‍රික් ගවේෂණ මෙහෙයුම මාසික වැඩසටහනක් බවට පත් වුණේ ගෙදර වාහනයක් තිබීමත් ගෙදර ඉඳන් පොඩි වෙලාවකින් යන්න පුළුවන් ඓතිහාසික ස්ථාන රාශියක් තිබීමත් ඇවිදින්න තිබූ ආසාවත් නිසාය. පිළිකුත්තුව, මාළිගාතැන්න, වාරණ, කෑරගල, උෟරුවල, දඩගමුව, ඔය ‍වගේ පන්සල් බොහොමයක් බලා ගත්තේ ඒ මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියටය.

දවසක් ටීවී එකේ ලුණුගම නමැති විහාරයක් ගැන පෙන්නුවේ ඔය අතරය. එතනට යන පාර හරියටම අහගන්න බැරි වුණත් පෙන්නපු හා කියපු විස්තර වලට අනුව ගෙදර අයගේ ඒකමතික තීරණය වුණේ මෙහෙයුමේ ඊළඟ ඉලක්කය ලුණුගම බවය. ඒ අනුව කාගෙන්දෝ පාරත් අසා ගෙන උ‍දෙන්ම පිටත් වී වැලිවේරියෙන්ද මණ්ඩාවලින්ද ඔය කොහෙන්දෝ මන්දා හැරි හැරී ගියත් ලුණුගමක් පේන තෙක් මානයකට වත් එන්නට බැරි වුණේය. එක සැරයක් පාර අයිනේ කෙනකුගෙන් ඇසූ විට "ඔය ඔතනින් හැරුණම තව චුට්ටයි" යනුවෙන්ද තවත් හැතැම්මකටත් වඩා ගොස් තවත් කෙනකුගෙන් ඇසූ විට "ආ ඔය වංගුව හැරුණ ගමන් පන්සල පේනවා" යනුවෙන්ද පිළිතුරු ලද මුත් පන්සලක් නම් පෙනෙන්නට තිබුණේ තවත් වංගුත් ගසා පැය බාගයක පමණ කාලයකුත් ගෙවා දැමීමෙන් පසුවය. මොන ගමනක් ගියත් පාර මතක හිටින දෙයියාට ඒ ගිය පාර නම් කොහොමටවත් මතක හිටියේ නැත්තේ එච්චරම රවුමක් ගැසූ නිසා විය යුතුය.

එ‍්ත් එතනට ගිය විට එය ඓතිහාසික වැදගත්කමක් ඇති තැනක් බව හඳුනා ගන්නට නාම පුවරුවක්වත් අසන්නට කෙනකු වත් හොයා ගන්නට නොවීය. කරන්නට වෙනත් කිසිවක් නොවූ තැන අලුතින්ම ගැසූ වහලයක් පෙනනෙන්නට තිබූ බුුදු ගෙය වෙත ගොස් ආගමික වතාවත් කර එතැනින් අප පිට වී ගියත් එදා අප ගියේ ඒ ඓතිහාසික වටිනාකමක් ඇතැයි කියන ඇත්තම ලුණුගම පන්සලටද යන්න වත් අද වෙනකම්ම නොදන්නා අතර අපේ ගම්පහ දිස්ත්‍රික් ගවේෂණ මෙහෙයුමද ඒ ගමනින්ම අවසන් වුණේය.

බලාපොරොත්තු වූවාට වඩා රවුමක් ගසන්නට ගොස් වෑන් එකේ ඩීසල් ඉවර වූ බැවින් ඩීසල් ගසන්නට ගොස් සිදු වූ අකරතැබ්බය පස්සෙ ලියන්නම්... ඒත් ඊට කළින්...

ප.ලි. 01
ලුණුගම මෙහෙයුම එහෙම පිටින්ම අසාර්ථක වීමත් සමග දෙයියාගේ ඒකමතික තීරණය වුණේ "එහෙනම් ඕක ඔය කියන තරම් වැදගත් තැනක් නෙවෙයි" යන්නය. ඒ නිගමනය සුණු විසුණු වුණේ අපේ රටේ පුරාවිද්‍යා කටයුතු ගැන ඇඬෙන විග්‍රහයක් සමග ලුණුගම ගැන කප්පරක් තොරතුරු ලියා තිබූ සිංහල විකිපීඩියාවේ මේ ලිපිය ඊයෙ පෙරේදා කියවීමත් සමගය.

ප.ලි. 02
ඔච්චර වැදගත් පන්සලක් තමන්ගේ ප්‍රදේශයේ තියාගෙනත් පිටින් කෙනෙක් පැමිණ පාර අහන විට මේ අහන්නේ ඒ පන්සල ගැන යැයි මිනිස්සුන්ට තේරුම් නොයන්නේ ඔය උඩ ලිපියේ තියෙන විදියටම පුරාවිද්‍යා අංශ මගින් ඉටු කර ඇති අගනා කාර්ය භාරය නිසාම විය යුතුය.

Friday, May 16, 2014

මේ කොයි යන්නේ

මුලින්ම කියන්න තියෙන්නේ මේ කතාව තනිකරම මට හිතෙන හැටි බවය. එසේ වුවත් හිතෙන හැටියට හිත හිතා පමණක් සිටින්නට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස අනිත් අයත් එක්ක ඒවා කියන්නට ගොස් මා තේරුම් ගත්තේ මේ මට පමණක් හිතෙන හැටියක් නෙ‍ාවන බවය. වෙන විදියකට කියන්නේ නම් මේ විදියට හිතෙන තවත් අය ඉන්නා බවය. ඉතින් ඒ ගාන තුන් හතර දෙනෙක්ද නැත්නම් ඊට වඩා වැඩිද කියා බලන්න මේ කතාව බ්ලොග් එකේ ලියන්නට තීරණය කළෙමි. කියවා බලා කමෙන්ට් දමන තරමට අගය කරමි.

මිනිසුන් ජීවත් වන්නේ පුදුමාකාර පීඩනයකිනි. තේරෙන භාෂාවෙන් කියන්නෙ නම් ස්ට්‍රෙස් එකකිනි. ඒ ඔවුන් දිවා රෑ නොබලා මොකක්ද මන්දා පස්සේ දුවන බැවිනි. ඒ දුවන්නේ මොකක්ද කියලාවත් සමහර විට ඔවුන්වත් දන්නේ නැති වුවත් බොහෝ විට ඒ සල්ලි පස්සේය. ඊට හේතුව ජීවත් වන්නට සල්ලි අවශ්‍ය වීමයි. ඒත් බොහෝ දෙනා මේ අතොරක් නැතුව දුවන්නේ එහි විලෝමය හිතට අරගෙනයි. එනම් සල්ලි ඇත්නම් ජීවත් වන්නට පුළුවන් යනුවෙන් හිතාගෙනයි.
ජීවත් වන්නේ සල්ලි හොයන්නද... සල්ලි හොයන්නේ ජීවත් වන්නද...
ඉතින් උදේ පාන්දර පටන් රෑ දෙගොඩ හරියක් වන තුරු මිනිස්සු සල්ලි පස්සේ දුවති. ඉස්සර නම් මිනිසුන්ට වීක්එන්ඩ් එකක් කියා එකක් තිබුණි. පසුව සෙනසුරාදා වරුවක් වැඩ කරන්නට පටන් ගත් අතර දැන් දැන් සෙනසුරාදාට කොළඹ එහෙම ආවොත් ඒකත් සතියේ දවසක් යැයි හිතෙන තරමට මිනිසුන් සෙනසුරාදාත් වැඩය. තව ටික කාලෙකින් ඉරිදාටත් ඒ සෙතේම අත්වනු ඇත. අනේ මන්දා ලංකාව නමට නම් වැඩිම නිවාඩු තියෙන රටය. ඒත් මිනිසුන් නිවාඩුවක් සැනසිල්ලේ ගත කරනවාද යන්න ගැන නම් මට ඇත්තේ බරපතල ගැටලුවක් හා කණගාටුවකි.
ප්‍රශ්න... ප්‍රශ්න... ප්‍රශ්න...
අනිත් අතින් මිනිසුන්ගේ ජීවිත හිතා ගත නොහැකි ලෙස සංකීර්ණ වී ඇත්තේ මේ කෙහෙම්මල් තරඟයක් නිසාය. තමන්ගේ ජීවිතේ හැම දෙයක්ම හැම පැත්තක්ම නිතිපතා අනිත් අයගේ ජීවිතත් සමග සංසන්දනය කිරීම දැන් පිස්සුවක් තරමටම වැඩි වෙලාය. අරයාට තියෙන දේට වඩා හොඳ දෙයක් මෙයාට ඕනෑය. බඩේ ඉන්න බබා සුබ නැකතට සීසර් කර එළියට ගන්න ඕනෑය. ඒකාව හොඳම ඉස්කෝලෙකට දාගන්න ඕනෑය. ඒ සඳහා හොර ඔප්පුද අරවද මේවද කෝටියක් දේවල් කර පාසල් යන්නත් කලින් සිට පොඩි එකාටත් පුරුදු කරන්නේ බොරු කියන්නය. ඒවාද හරි නොගියහොත් අම්මලාගෙන් ලිංගික අල්ලස් අරගෙන පොඩි එකාව ඉස්කෝලෙට ගන්න විදුහල්පතිලාද බිහි වී ඇත්තේ මේ තරඟය ගැන හොඳාකාරවම දන්න නිසාය. පොඩි එකාට මොන්ටිසෝරියේ සිට උසස් පෙළ දක්වා ටියුෂන්ය. ඒ සමහර පන්ති වල සිද්ද වෙන දේවල් පත්තරෙන් ටීවී එකෙන් කොච්චර දැක්කත් අම්මලාට තාත්තලාට ගානක් නැතිය. ළමයින් ගැන බලන්නට අම්මලාට වෙලාවක් නැත්තේ එයාලාත් තරඟයට අවශ්‍ය මුදල් සොයන්න තාත්තලා වගේම උදේ පටන් රෑ වන තුරු ජොබ් වල නිසාය.
අම්මල තාත්තල එයාලගෙ ලෝක වල... ළමයි කාගෙ ලෝකෙද එතකොට...

මේවා ගැන ලියනවා නම් ලියන්න දේවල් තව ‍ගොඩක් තිබේ. ඒත් ඒ ගැන කතා කර කර සාම්ප්‍රදායික සමාජ විවේචකයකු ලෙස හංවඩු ගැහෙන්නට මට උවමනා නැත. අප කළ යුත්තේ මිනිසුන්ගේ සිත් සතන් තුළ මහා පීඩනයක් ඇති කර ඇති මේ තරඟය නමැති විෂම චක්‍රය කොහෙන් හෝ කඩා බිඳ දැමීමයි. එසේ නොකරන තාක් කල් මේ පීඩනය පිට වන්නේ කොතැනින්ද යන්න දිනපතා පත්තරයක පිටු පෙරළීමෙන් පහසුවෙන්ම හිතා ගත හැකිය.
දිනන්නෙ කවුද... පරදින්නෙ කවුද...
මිනිසුනේ ටිකක් හිතපල්ලා.
අපි මේ තර‍ඟෙට දුවන්නේ අපි අපි එක්කම නේද.
දිනන්නේ කවුදැයි හරියටම නොපෙනුණත් පරදින්න‍ේ නම් කවුදැයි හොඳටම පේනවා නේද.

මේ ටික මට පස්සෙ හිතු‍ණ දෙයකි. අප අදහන බුුදු දහම අනුව ලෝභ, ද්වේෂ, මෝහ යනුවෙන් කෙ‍ළෙස් තුනක් තිබේ. මා වටහා ගත් පරිදි ලෝභය අැති වන්නේ කැමැත්ත නිසාය. ද්වේෂය ඇති වන්නේ අකැමැත්ත නිසාය. ඒත් මෝහය මේ දෙකටම වෙනස්ය. කොටින්ම යම් දේවල් වලට කැමැත්තත් තවත් දේවල් වලට අකැමැත්තත් ඇති වන්නේ මෝහය නිසාය. ඒ අනුව මේ සමාජයේ ඇති සියලු ප්‍රශ්න වලට ජන්මය දෙන්නේ මිනිස් සිතේ ඇති මෝහය යැයි මට සිතේ.

Saturday, May 10, 2014

ජාතික (බෝල) ක්‍රීඩාව

මා කුඩා කල සිතා සිටියේ අපේ රටේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් කියාය. ඒ තරමටම ඒ කාලයේ ක්‍රිකට් අපේ ජීවිත වලට සමීප වී තිබුණේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණය අප කුඩා කාලයේ සුන්දර මතකයක් වූ නිසා විය යුතුය. ඒ කෙසේ වෙතත් පාසලේදී අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් බව දැනගැනීමත් සමග මා හට දැනුණේ තරමක අමුත්තකි. එකල (මෙන්ම අදටත්) අප රට තුළ එතරම් තැනක් ඇති ක්‍රීඩාවක් ලෙස වොලිබෝල් මා නම් දැක නැති වීම එයට හේතුව විය යුතුය. ඊට අමතරව වොලිබෝල් අප රටේ බිහි වූ ක්‍රීඩාවකුත් නොවේ. ඒ තර්කය අනුව මා සිතා ගත්තේ අඩුම තරමින් ජාතික ක්‍රීඩාව ලෙස එල්ලේ ක්‍රීඩාව නම් කළා නම් ඊට වඩා ගැළපෙන බවය.
අපේ වොලිබෝල්...
ඒත් දැන් නම් වොලිබෝල් තරම් අපේ රටේ ජාතික ක්‍රීඩාව බවට පත්වන්නට වෙන කිසිදු ක්‍රීඩාවකට සුදුසුකමක් නැති බව මට මැනවින් වැටහී තිබේ. එය එසේ වන්නේ ක්‍රීඩාව කරන ආකාරය දෙස බැලීමේදීය. උදාහරණයක් ලෙස පාපන්දු, පැසිපන්දු වැනි ක්‍රීඩාවක් ගත් විට ක්‍රීඩකයන් හැම විටම උත්සාහ ගන්නේ බෝලය තමන් වෙත ලබා ගැනීමටය; නැතහොත් ලබා ගත් බෝලය ළඟ තබා ගැනීමටය. අප අතර ඉතාම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාවේදී පවා පන්දු රකින්නන් බෝලය පසුපස හඹා ගොස් හෝ අල්ලාගන්නේත් ගුවනේ පා වී ගොස් හෝ රැකගන්නේත් බෝලය කොතරම් වටින නිසාද?
මෙච්චර වටින බෝලයක් කොහොම හරි අල්ලගන්න එපැයි...
ඒත් වොලිබෝල් ක්‍රීඩාවේ බෝලය ලැබුණු සැණින් කරන්නේ අනිත් පැත්තට විසි කිරීමය. ඒ විසි කරන එකත් අනිත් පැත්තේ කොටුව ඇතුළේ මිස පිටට නොවැටෙන්නට විසි කිරීමට වග බලා ගත යුතුය. තමන්ගේ පිලට බෝලය ලැබුණු විට නියමිත වාර ගණනක් ඇතුළතදී අනිත් පැත්තට විසි කළ යුත්තේ හරියට පින් එක ගැලවූ අත් බෝම්බයක් වගේය. කොටින්ම වොලිබෝල් ක්‍රීඩාවේ මුඛ්‍ය පරමාර්ථය බෝලය අනිත් පිල වෙත යැවීමය. එනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෝලෙ පාස් කිරීමය. ඉතින් අපේ රටට ඊටත් වඩා ගැළපෙන ජාතික ක්‍රීඩාවක් තවත් තිබේද? අපේ රටේ ඔෆීස් වල, ප්‍රොජෙක්ට් වල මෙකී නොකී තැන්වල හරි හරියට බෝලෙ පාස් කරන්නට සමත්කම් පාන දක්ෂ නිලධාරීන් බිහි වී ඇත්තේ වොලිබෝල් ජාතික ක්‍රීඩාව වූ නිසාම නොවේද?
මේ අර බෝලෙට මොකද කරේ... ඒ බෝලෙ මගෙ නෙවෙයිනෙ... මොකද නැත්තෙ ඒක ඔයාගෙ තමයි...
ඒ මට හිතෙන හැටිය.