Thursday, June 19, 2014

මළ පොතේ අකුරු

මළ පොතේ අකුරු බෑ කී මිනිහා ඉංගිරීසි පත්තරයක් මුල ඉඳල අගටයි අග ඉඳල මුලටයි කියවනවයි කියල අර සිංදුවකත් තියෙන්නෙ. ඒ වගේම තමයි ගොඩක් දෙනෙකුට ඉංගිරීසි හෝඩියේ අකුරු ගානයි පිළිවෙළයි හරියටම කියාගන්න පුළුවන් වුණාට සිංහල හෝඩිය ගැන ඇහුවම තමයි කොර වෙන්නෙ. සිංහල හෝඩිය මිනිස්සුන්ට අමතක වෙලා යන විතරක් නෙවෙයි සිංහල භාෂාවත් ටික ටික වළපල්ලට යමින් තියෙන කාලෙක සිංහල හෝඩිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නයි අද සූදානම.

සිංහල හෝඩිය කිව්වම ඇත්තටම හෝඩි කිහිපයක් තියෙනව. මුලින්ම අපි බලමු ‍ශුද්ධ සිංහල හෝඩිය. මේක අමිශ්‍ර හෝඩිය සහ හෙළ හෝඩිය යන නම් වලිනුත් හඳුන්වනව. දැන් කාලෙ මේ වචනෙ පාවිච්චි වෙන්නෙ නම් වෙන තේරුමකින් වුණාට මේ හෝඩිය තමයි නියම (අද කාලෙ විදියට කියනව නම් ඔරිජිනල්) සිංහල ‍හෝඩිය ලෙස සලකන්නෙ. මේකට අමිශ්‍ර කියල කියන්නෙ මේකෙ මහාප්‍රාණ අක්ෂර නොමැති නිසා. ඇත්තටම මහාප්‍රාණ අක්ෂර පාලි භාෂාවෙන් අාවයි කියල සලකන නිසා ඒව අඩංගු නොවන ‍හෝඩිය නියම සිංහල ‍හෝඩිය විය යුතුයි කියන අරුතින් තමයි මේකට හෙළ හෝඩිය කියලත් කියන්නෙ. මේකෙ අකුරු 32යි. ඒ ස්වර (ප්‍රාණාක්ෂර) 12ක් සහ ව්‍යංජන (ගාත්‍රාක්ෂර) 20ක් විදියට. මේ හෝඩිය තමයි පහත දැක්වෙන්නෙ.
ශුද්ධ සිංහල හෝඩිය...
අපේ පැරණි ව්‍යාකරණ ග්‍රන්ථයක් වන සිදත් සඟරාවෙ සඳහන් වන සිංහල හෝඩියත් ඉහත දැක්වුණු ශුද්ධ සිංහල හෝඩියට බෙහෙවින්ම සමානයි. එකම වෙනස එහි ඇයන්න හා ඈයන්න අඩංගු නොවීමයි. ශුද්ධ සිංහල හෝඩියේ අකුරු 32න් මේ අකුරු දෙක අඩු වුණාම ඉතුරු අකුරු 30 තමයි සිදත් සඟරා හෝඩියේ අඩංගු වෙන්නෙ.

ඉහත හෝඩි දෙකම ගොඩක් පැරණි හෝඩි. වර්තමානයේ සම්මත සිංහල හෝඩියක් තියෙනවද කියන්න නම් හරියටම දන්නනෙෑ. ඒත් දැනට අපි බහුලවම භාවිතා කරන සිංහල අකුරු ඇතුළත් වෙන විදියට සකස් කර ගත් මිශ්‍ර සිංහල හෝඩිය තමයි සම්මත හෝඩියකට වඩාත්ම සුදුසු හෝඩිය කියල මට හිතෙන්නෙ. මේ හෝඩියේ අකුරු 61ක් තියෙනව. මේ පහළ තියෙන්නෙ ඒක. හැබැයි මේකෙ තියෙන වර්ගීකරණයට අමතරව තවත් අක්ෂර වර්ග කරන ක්‍රම තියෙනව කියලත් මතක තියා ගන්න වෙනව.
මිශ්‍ර සිංහල හෝඩිය...

Friday, June 13, 2014

අයියෝ සල්ලි

මේ පහළ තියෙන්නෙ දැන් කාලෙකට කලින් මම (ඒ කාලෙ පටන් අරන් අතරමග නවත්තපු) බ්ලොග් එකට ලියපු පෝස්ට් එකක්. කවදාවත් මේක පළ කරන්න බැරි වුණා විතරක් නෙවෙයි අනුන්ට කියල දෙන්න ගියාට මමම කෙළව ගත්ත මේ සබ්ජෙක්ට් එක. ඒ වුණාට මෙච්චර මහන්සියෙන් ලියපු එක නිකම්ම මකල දාන්නත් දුකයි. ඔන්න ඔහෙ පබ්ලිෂ් කරල දානව. අපරාදෙ මේව ටයිප් කරන්න ගිය වෙලාවයි මහන්සි වෙච්ච ඇඟිලියි. පොතක් ලියල විකුණගන්න තිබුණ. අයියෝ සල්ලි :(
ශ්‍රී ලංකාවේ වසර ගණනාවක් පුරා පැවතුණු අයහපත් තත්ත්වය අවසන් වීමත් සමග කොළඹ කොටස් වෙළෙඳපොළ කාගෙත් කතාබහට ලක්වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආර්ථික වර්ධනයේ කොටස්කරුවකු වීමේ බලාපොරොත්තුවෙන් දේශීය හා විදේශීය ආයෝජකයින් විශාල වශයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරමින් සිටිනවා. මේ සමග පසුගිය වසර එක හමාරක පමණ කාලය පුරාවටම අපට වාර්තා වුණේ කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකයන් වාර්තා තබමින් ඉහළ යන බවයි.
නමුත් කණගාටුවෙන් වුවත් සඳහන් කරන්න සිදුවෙන්නේ කොටස් වෙළෙඳපොළ පිළිබඳ අප රටේ ජනතාව තුළ පවතින දැනුම ඉතා දුර්වල මට්ටමක තියෙන බවයි. විශේෂයෙන්ම බොහෝ දෙනා සිතන්නේ මෙය මහා පරිමාණ ආයෝජකයන්ට සීමා වුණු තැනක් කියලා. ඒ වගේම තවත් අය සිතන්නේ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම වාණිජ කටයුතු පිළිබඳ ගැඹුරු දැනුමක් අවශ්‍ය කරන ඉතා සංකීර්ණ කටයුත්තක් හැටියටයි. මා දකින හැටියට මෙයට හේතු වී ඇත්තේ ආයෝජන අවස්ථා ගැන ජනතාව දැනුවත් කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් නොමැති වීමයි. කොළඹ කොටස් වෙළෙඳපොළ මගින් හා විවිධ ජනමාධ්‍ය මගින් විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළත් ඒවායින් එතරම් සාර්ථකත්වයක් අත්වී ඇති බවක් පෙනෙන්නට නැහැ.
ඇත්තටම මමත් කොළඹ කොටස් වෙළෙඳපොළ ගැන අවධානය යොමු කරන්න පටන් ගත්තේ යුද්ධය අවසන් වීමත් සමග එහි ඇතිවූ දැවැන්ත වර්ධනය නිසයි. මට කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් තියෙන්නේ සාමාන්‍ය පෙළ ව්‍යාපාර අධ්‍යන්‍යය විෂයයේදී ලබා ගත් දැනුම විතරයි. නමුත් මම විවිධ මූලාශ්‍ර මගින් මේ ගැන ඉගෙනගන්න උත්සාහ කළා. ඒ වගේම නිතර නිතර කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙබ් අඩවියට ගිහින් අලුත්ම තත්ත්වය සොයා බැලුවා. මම විශේෂයෙන් කියන්න ඕනෙ මේ කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙබ් අඩවිය ඉතාම ප්‍රයෝජනවත් එකක් බව. එමගින් කොටස් වෙළෙඳපොළේ  කටයුතු ගැන දැනුම් සම්භාරයක් ලබා ගන්න පුලුවන්.
කොළඹ කොටස් වෙළෙඳපොළ යනු ලැයිස්තුගත සමාගම්වල සුරැකුම්පත් (කොටස්) මිළ දී ගැනීමට සහ විකිණීමට ආයෝජකයන්ට ශ්‍රී ලංකා‍වේදී අවස්ථාව ලැබෙන එකම ස්ථානයයි.
ලැයිස්තුගත සමාගමක් යනු මහජනතාවට සිය කොටස් නිකුත් කිරීම මගින් ප්‍රාග්ධනය සපයා ගැනීමට අවසර ඇති, ඒ සඳහා ලියාපදිංචි වී ඇති සමාගම් වේ. මෙම අවසරය ලබා දී ඇත්තේ, කොළඹ කොටස් වෙළෙඳපොළ අධීක්ෂණය කිරීමේ හා නියාමනය කිරීමේ බලයලත් ආයතනය වන ශ්‍රී ලංකා‍ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසිනි. මෙම අවසරය ඕනෑම සමාගමකට ලබා ගත නොහැකි අතර, ඒ සඳහා ලැයිස්තුගත කිරීමට පෙර වසර කිහිපයකදී සමාගම ලාභ පෙන්වා තිබිය යුතු වීම වැනි මූලික අවශ්‍යතා කිහිපයක් සැපිරිය යුතුය. විශේෂයෙන්ම ලැයිස්තුගත කරන ලද සමාගම් මහජනතාවට කොටස් නිකුත් කිරීම සිදු කරන බැවින් එම කොටස්වල ආයෝජනය කරන මහජනතාව අපහසුතාවයන්ට පත් වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා‍ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නිරතුරුව ක්‍රියා කරයි. දැනට ශ්‍රී ලංකා‍වේ ලැයිස්තුගත සමාගම් 240කට අධික සංඛ්‍යාවක් ඇත.
සුරැකුම්පතක් යනු ලැයිස්තුගත සමාගමක් විසින් නිකුත් තරනු ලබන, එහි ප්‍රාග්ධනයෙන් කිසියම් කොටසකි. කොළඹ කොටස් වෙළෙඳපොළේ හුවමාරු වන සුරැකුම්පත් වර්ග ගණනාවක් ඇත.
  1. ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් (Ordinary Voting Shares) - N
  2. ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස් (Ordinary Non-voting Shares) - X
  3. කොටස් බලපත්‍ර (Warrants) - W
  4. හිමිකම් නිකුතු (Rights Issues) - R
  5. ප්‍රසාද නිකුතු (Bonus Issues) - B
මේ එක් එක් සුරැකුම්පත් වර්ගය පිළිබඳ මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. ඊට පෙර කොටස් වෙළෙඳපොළේ ආයෝජනයෙහි ඇති ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිය.
  • ද්‍රවශීලතාව වැඩි ය. එනම් ඔබ මිළදී ගෙන ඇති කොටස්, මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව වැඩිය.
  • ප්‍රතිලාභ වැඩි ය. මෙයින් මා අදහස් කරන්නේ, සාමාන්‍ය ආයෝජකයකුට ඇති ආයෝජන විකල්ප (Investment Options) සමග සංසන්දනය කිරීමේදී වැඩි ප්‍රතිලාභයක් කොටස් වෙළෙඳපොළේ ආයෝජනයෙන් ලැබිය හැකි බවය.
  • ප්‍රතිලාභ වැඩි ආයෝජනයකදී අවදානමද වැඩිය. නමුත් තම ආයෝජන නිසි පරිදි කළමනාකරණය කිරීමෙන් අවදානම අවම කර ගත හැකිය. එහෙත් සාම්ප්‍රදායික ආයෝජන ක්‍රම (උදා - බැංකු තැන්පතු) වලදී මෙන් නොව, තමන් සිදු කර ඇති ආයෝජන සහ තමන් ඉදිරියේ ඇති අනෙකුත් අවස්ථා පිළිබඳව නිරතුරුව අවධානයෙන් සිටීම අවශ්‍ය වේ.
  • උපයන ආදායම්, බදු වලින් නිදහස් ය.
 ඔබ කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙබ් අඩවියට පිවිස එහි ලැයිස්තුගත කර ඇති සමාගම් පිළිබඳ විමසා බැලුවහොත්  එහි සෑම සමාගමකටම හිමි කේතයක් (ඉංග්‍රීසි අකුරු 3ක හෝ 4ක) දැකිය හැකි අතර, එම කේතයට ඉදිරියෙන් තවත් ඉංග්‍රීසි අකුරක්ද දැකිය හැකිය. මෙම අකුර මගින් එම සුරැකුම්පතේ වර්ගය නිරූපණය කරයි.
ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් (Ordinary Voting Shares) - N
කොටස් වෙළෙඳපොළේ  බහුලවම දැකිය හැකි කොටස් වර්ගය වන මෙය, සෑම සමාගමක් විසින්ම පාහේ නිකුත් කොට ඇති අතර බොහෝ විට සමාගමක් නිකුත් කරන්නේද මෙම කොටස් වර්ගය පමණි. මෙම කොටස් හිමියන්ට සමාගමේ හිමිකාරත්වය ලැබෙන අතර සමාගමේ මහ සභා රැස්වීම්වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ බලයද හිමි වේ. තවද සමාගමක් ලාභාංශ ප්‍රකාශයට පත් කරන අවස්ථාවකදී (එනම් සිය ලාභයෙන් කොටසක්, කොටස් හිමියන් අතර බෙදා හැරීමේදී) තමන් සතු කොටස් ප්‍රමාණයට සමානුපාතිකව ලාභාංශ ලැබීමටද මෙම කොටස් හිමියන්ට අවස්ථාව ලැබේ.
ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස් (Ordinary Non-voting Shares) - X
මෙම කොටස් හිමියන්ට, සමාගමේ මහ සභා රැස්වීම්වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ බලය හිමි නොවන අතර ඉහතින් දැක්වූ ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් හිමියන්ට හිමි වන සෙසු සියලු අයිතීන් හිමි වේ.
කොටස් බලපත්‍ර (Warrants) - W
කොටස් බලපත්‍රයක් යනු, අනාගතයේ නිශ්චිත දිනකදී නිශ්චිත මිළකට යම් සමාගමක කොටස් මිළ දී ගැනීමේ අයිතිය ලබා දෙමින් වර්තමානයේ දී නිකුත් කරන ලියවිල්ලකි. සමාගමක අනෙකුත් කොටස් හුවමාරු වන ආකාරයටම, කොටස් බලපත්‍රද මිළ දී ගැනීම හා විකිණීම සිදු කළ කළ හැකිය.
හිමිකම් නිකුතු (Rights Issues) - R
දැනට කිසියම් සමාගමක කොටස් හිමියන් හට, තමන් සතු කොටස් ප්‍රමාණයට සමානුපාතිකව තවත් කොටස් ප්‍රමාණයක්, නිශ්චිත මිළකට (සාමාන්‍යයෙන් එම සමාගමේ කොටසක වත්මන් වෙළෙඳපොළ අගයට වඩා අඩු මුදලකට) ලබා දීම, හිමිකම් නිකුතුවක් ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස XYZ සමාගම 10:1ක හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත් කළේ නම් ඉන් අදහස් වන්නේ සෑම කොටස් හිමියකුටම තමන් සතු කොටස් 10ක් වෙනුවෙන් තවත් කොටසක්, අඩු මුදලකට හිමි වන බවයි.
ප්‍රසාද නිකුතු (Bonus Issues) - B
මෙයද, හිමිකම් නිකුතු මෙන්ම, දැනට කිසියම් සමාගමක කොටස් හිමියන් හට තමන් සතු කොටස් ප්‍රමාණයට සමානුපාතිකව නිකුත් කරනු ලබන කොටස් නිකුතුවක් වන නමුත් මෙහි ඇති විශේෂත්වය ‍වන්නේ ‍මෙම කොටස් නොමිළේ නිකුත් කිරීමයි.
ඔබ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබට සෘජුවම එය සිදු කළ නොහැකි අතර ඒ සඳහා කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගමක් හරහා මධ්‍යම තැන්පතු ක්‍රමයේ (Central Depository System - CDS) ගිණුමක් විවෘත කර ගත යුතුය. මධ්‍යම තැන්පතු ක්‍රමය යනු කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කරන සියලුම ආයෝජකයන් වෙනුවෙන් ගිණුම් පවත්වා ගෙන යන ආයතනයයි. මෙම CDS ගිණුම විවෘත කිරීමට ඔබට කිසිදු මුදලක් වැය නොවේ. දැනට කොළඹ කොටස් වෙළෙඳපොළ ලියාපදිංචි තැරැව්කාර සමාගම් 22ක් ඇති අතර ඔබ‍ගේ පහසුව තකා ඒවායේ වෙබ් ලිපිනයන් පහත දක්වා ඇත.

Thursday, June 12, 2014

එකෙක් හංසයෙක් - අනිත් උන් තාරාවො

ළඟදි දවසක දෙයිය දෙහිවල සත්තු වත්ත බලන්න ගියානෙ වෙන්ට-නෝනත් එක්ක. "සත්තු වත්ත" කිව්වට හරිම වචනෙ "සතුන් වත්ත" ලු. කොහොම හරි ඉතින් එතනදි දැක්ක දෙයක් ගැන තමයි අද කතාව.

සතුන් වත්තෙ එක් තැනක තියෙන පොකුණක් ළඟ "සුදු හංසයා" කියල බෝඩ් එකක් ගහල තියෙනව. අනිත් ගොඩක් කූඩු වල වගේම මෙතනත් ඉන්නෙ එක සතයි. තමන්ගෙ ස්වාභාවික පරිසරයෙන් ඈත් කරල කූඩු වල දාල ඉන්න සතුන්ට අඩුම ගානෙ තමන්ගෙ ජාතියෙ තව එක සතෙක් හරි හිටිය නම් තනිකම පාලුව වත් නැති වෙයි කියල හිතුණ. ඒ වගේම ඉස්සර නම් ගොඩක් සතුන් ‍ජෝඩු වශයෙන් හිටියත් අද වෙන කොට ගොඩක් උන්ට තනි වෙන්න වෙලා තියෙන්නෙ පහුගිය කාලෙම දිගටම සතුන් ගොඩක් මැරුණ නිසා කියලත් කතාවක් තියෙනව. කොහොම වුණත් අර පොකුණෙ තනියම පීන පීන ඉන්න හංසයව දැක්කම නම් ගොඩක්ම දුක හිතුණ.
තනි හංසයා... ගත්තෙ මෙතනින්...
ඒත් ඇත්තටම හංසය ඒ පොකුණෙ ඉන්නෙ තනියමමත් නෙවෙයි. උගෙ තනියටද මන්ද තාරාවො රංචුවක්ම දාල ඉන්නව ඒ පොකුණට. ඒ වුණාට ඉතින් තමන්ට වඩා වෙනස් පිරිසක් මැද තනියම ඉන්න වෙන එක මොකෙක්වත් නැතුව ඉන්නවටත් වැඩිය දරුණුයිද මන්ද. අපටත් සමාජයේ ඉන්න කොට ඔය වගේ අත්දැකීම් ලැබිල තියෙනවනෙ.
හංස විලේ තාරාවෝ... ගත්තෙ මෙතනින්...
ඔන්න ඉතින් අපි බලන් ඉන්න කොට එතන වැඩ කරන කෙනෙක් ආව උන්ට කෑම දෙන්න. හංසය ඉන්න තැනින් එක බේසමක් තියල අර තාරාවො රංචුවටම එච්චර විතර තව බේසමක් තියල ගියා. ඒකෙ තිබුණෙ මොනවද කියල ළඟටම දැක්කෙ නැති වුණත් පාන් වගේ මොනව හරි කෑලි කෑලි මොනව හරි දියරයක දාල තමයි තිබුණෙ. වතුරද මන්ද.

කෑම තිබ්බට පස්සෙ තමයි දැක්කෙ අර රංචුවෙන් වෙන් වෙලා තනියම ඉන්න එක තාරාවෙක් ඉන්නව. මොකක් හරි හේතුවක් ඇති ඒකට. උෟ අර රංචුවට දීපු කෑම එක ගාවට යන්නෙ නෑ. ඌ කරන්නෙ අර හංසයට දීපු කෑම එකට ළං වෙලා ඒකෙන් කන එක. ඉතින් හංසය පැත්තකින් හොට දානව තාරාව තව පැත්තකින් හොට දානව. ටිකකින් තාරාව හංසයට කොටනව. එතකොට හංසය ඈත් වෙලා ටිකකින් ආයෙ හොට දානව. ආයෙ ටිකකින් අරූ කොටනව. ඔහොම දෙතුන් පාරක් වෙන කොට හංසය එතනින් ඈත් වෙලා වෙන පැත්තකට පීනල යනව. ඒත් බඩගින්න නිසා ටිකකින් ආයෙ එනව. ආයෙ ඔය රවුම යනව ඉතින්. මට නම් තරහයි දුකයි දෙකම අරූ කොටන එකටයි හංසය එතනින් ඈත් වෙලා යන එකටයි.

ටිකකින් ඒ තාරාව එතනින් අයින් වෙලා ගියා. ඇති යාන්තම් දැන්වත් හංසයට කන්න පුලුවන්නෙ නිදහසේ. මොන පිස්සුද. මෙන්න ඒ තාරාව ගියා විතරයි අතන එක බේසමේ කකා හිටපු තාරාවො තුන් දෙනෙක්ම පෝලිමට එනව හංසයගෙ බේසමට. උනුත් එකා දෙන්න ළං වෙලා ඒකෙන් කනව. හිටි ගමන් හංසයට කොටනව. එතකොට ඌ ඈත් වෙලා යනව. ආයෙ එනව. ආයෙත් මට තරහ යනව. දුක හිතෙනව.

ඔය ඔක්කොම අස්සෙ වටේ පිටේ ඉන්න කාක්කො ටික නම් කිසි ප්‍රශ්නයක් නැතුව සැරින් සැරේ ඇවිත් අර බේසමෙන් කෑම කෑලි උස්සන් යනව. උන්ගෙත් ලොකු රංචුවක්. උන් කෑලි උස්සන් ගියාම අරුන්ට වතුර විතරයි ඉතුරු වෙන්නෙ බේසමේ.

අපි කෑම කෑවෙත් එතන එහා පැත්තෙ වාඩි වෙලා මේක දිහා බලාගෙන. ඒක බලන් ඉඳල වෙන්ට-නෝනගෙන් බේරිල්ලක් නෑ මට.

"අනේ පව් අර හංසය"
"උට කන්ඩම දෙන්නෑනෙ මුන්"
"මුන්ට පිස්සුද මන්ද කන්ඩ දෙන්න තේරෙන්නෙ නෑනෙ සත්තුන්ට" 
"අනේ අර තාරාවොන්ට දෙකක් දෙන්ඩ ඕනි අර හංසයට කොටනවට"

ඉතින් දෙයියනේ මං මොනව කරන්නද. අන්තිමට හංසයට විතරක් තනියම බේසම ඉතුරු කරල අනිත් උන් ගිහින්. ඌ පුදුම බඩගින්නකින් බේසමට හොට ඔබාගෙන කාගෙන කාගෙන යනව. ඒ වුණාට කෑම නෑ එතකොට වතුර තමයි ඉතුරු.

මම එදා ගෙදර ඇවිල්ලත් කල්පනා කරේ අපේ සමාජයෙත් කොච්චර මේ වගේ දේවල් වෙනවද කියල.

අපරාදෙ ෆොටෝ එකක් ගන්න බැරි වුණානෙ මේකෙ දාන්න.

Saturday, June 7, 2014

නයි නළඟන

"නයි නළඟන" කියන්නෙ දැන් මාස කීපයකට කලින් අපේ මාධ්‍ය වලින් පට්ට ගහපු චරිතයක්. මෙයා ගැන ආයෙ මතක් වුණේ ඊයෙ එක එක නිව්ස් සයිට් වල දාල තිබුණ අලුත් නිව්ස් එකකින්.

"නයි නළඟන දරු ප්‍රසූතියට රෝහල් ගත කෙරේ"

මෙයා පස්සෙ පන්න පන්න අපේ මාධ්‍ය ගිය ගමන ඉවරයි කියල මම හිතාගෙන හිටියට ඒක එහෙම නෑනෙ බලාගෙන ගියාම. බලන්නකො එදා ඉඳන් අද වෙනකම් මෙයා පස්සෙ පන්නපු පැන්නිල්ල.
අපේ මාධ්‍ය වලට පුදුම නිව්ස් එකක්නෙ මේක...
  • මෙයා නයෙක් එක්ක ක්ලබ් එකක හිටියයි කියල මහා ගාලගෝට්ටියක් ඇති කරා
  • ඊට පස්සෙ උසාවි නියෝග මත නයාව සත්තු වත්තට බාර දෙන එකත් කවර් කරල ප්‍රයිම් ටයිම් නිව්ස් එකක් බවට පත් කරා
  • මෙයාගෙ නම බොරු එකක් බවත් ගමක කෙල්ලෙක් බවත් හොයාගෙන ඇත්ත නම ඇතුළු සියලු විස්තර හොයල ප්‍රවෘත්ති ප්‍රකාශයක් නෑර ජනතාව දැනුවත් කරා
  • මෙයාගෙ ගම හොයාගෙන ගිහින් එහෙ මිනිස්සු හම්බ වෙලා එයා ගැන විස්තර අහල පුළුල් මාධ්‍ය ආවරණයක් දුන්න
  • දැන් ළමයෙක් හම්බ වෙන්න ඉන්නව කියල වෙන එකක් තියා මෙයාව හොස්පිටල් එකට ඇඩ්මිට් කරපු කෙනාගෙ නමත් හොයාගෙන සයිට් වල දැම්ම
  • අද මම දැක්ක ළමයෙක් හම්බ වුණා කියලත් දාල තියෙනව
දැන් මට තියෙන ප්‍රශ්නෙ මම මෙහෙම ඉදිරිපත් කරන්නම්. මම දන්න විදියට මේ පහළ තියෙන දේවල් ගැන අපේ රටේ ගොඩ දෙනෙක් දන්නව. දැනගෙන නොහිටි කෙනෙක් ඉන්නව නම් කරුණාකරල කමෙන්ට් කරන්න.
  • ලංකාවෙ ක්ලබ් කියල ජාතියක් තියෙනව
  • ඒවයෙ කෙල්ලො "වැඩ කරනව"
  • උන් ගොඩක් වෙලාවට ගම් වලින් ආපු කෙල්ලො
  • එයාලගෙ ගම් වල කට්ටිය සමහර විට දන්නෙත් නෑ එයාල කරන්නෙ මොනවද කියල
  • උනුත් ඇතුළත් වන, කෙල්ලො කියන කොට්ඨාසයට ළමයි හම්බ වෙනව (නිකන්ම හම්බ වෙන්නෙ නෑ තමයි)
  • ළමයි හම්බ වෙන්න ඉන්න කොට කෙල්ලන්ව හොස්පිටල් ඇඩ්මිට් කරනව
දැන් එතකොට මේ මාධ්‍ය මේ කාන්තාවට "නයි නළඟන" කියල නමකුත් දමාගෙන මෙයාගෙ පස්සෙම පන්නන්න තරම් මෙතන තියෙන නිව්ස් එක මොකද්ද කියල අනේ මාධ්‍යයක වැඩ කරන කෙනෙක් හරි කමක් නෑ පොඩ්ඩක් පැහැදිලි කරල දෙනව නම් ලොකු උදව්වක්.

මාධ්‍ය වලට වෙන වැඩක් ඇත්තෙම නැද්ද.

ප.ලි. (මෙයාගෙ ගම හොයා ගෙන ගිය අයට)
  • මටත් ගමක් ඇත
  • ඒත් දැන් පදිංචිය නගරෙකය
  • ගමක් තිබුණට මං කවුද කියල දන්න අය ගමේ ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි
  • එයිනුත් මම ඉන්නෙ කොහෙද කරන්නෙ මොනවද කියල දන්න අය ඊටත් අඩුය
  • ඒ මිනිස්සුන්ට මා ගැන ඕනෑ එකක් කිව හැකි අතර ඒ කියන දේවල් ගැන මා දැනගන්නා එකක්ද නැත
කෙසේ වෙතත් අද මා ලියන්නට අදහස් කළේ අප හා අපේ ගම් අතර සම්බන්ධය ගැන නොවන බැවින් ඒ ගැන පසුවට ලියන්නට අදහස් කරමි.

ඒත් ඔය කියන "නයි නළඟන" ගැන ගමේ අය විස්තර නොදන්න එක එයා දෙබිඩි ජීවිතයක් ගත කරන බවට සාක්ෂියක් විදියට පෙන්නන්න උත්සාහ කරපු එක නම් මම පෞද්ගලිකව කිසිසේත් අනුමත කරන්නේ නැත.

Friday, June 6, 2014

ඉල්-ලංකා

මේ අර කලින් ලියපු වට වන්දනාව කතාවෙ කියල තියෙන විදියට එදා ඩීසල් ගහන්න ගිහින් වෙච්ච අකරතැබ්බය...
ලංකා නෙවෙයි ඉල්-ලංකා කියන්නෙ මේවට තමයි...
ලුණුගම බලන්න ගිහින් හෙණ වටරවුමක් ගහල ප්‍රධාන පාරකට ළං වෙන කොට ආපහු යක්කලට යන්න තරම් වෑන් එකේ ඩීසල් මදි වෙයි කියල හිතල ඩීසල් ගහගන්න කිරිඳිවැලට ගියා. ඒ කාලෙ සිපෙට්කෝ වල ඩීසල් මිල අයි. ඕ. සී. වල මිලට වඩා අඩුයි. ඉතින් අයි. ඕ. සී. ෂෙඩ් එක පහු කරගෙනම සිපෙට්කෝ එකට ගියා ඩීසල් ගහගන්න. කොහොමත් ඉන්දියා ඩීසල් ගහල පුලුවනැයි ලංකා ඩීසල් ගහන්න එපැයි ලංකාවෙ අපි.

ඒක සමූපකාරෙ ෂෙඩ් එකක්. ඔන්න ඉතින් අපේ තාත්ත වෑන් එක නවත්තල එතනට ආපු මනුස්සයට කිව්ව ටෑන්ක් ෆුල් ගහන්න කියල. ඒ මනුස්සයත් පටන් ගත්ත ඩීසල් ගහන්න. හැබැයි ගොඩක් වෙලා ගියෙ නෑ. පටන් ගත්ත ගමන්ම වගේ නවත්තල කිව්ව 5ක් නේද කිව්වෙ කියල. ඒ කියපු ගමන් අනිත් අතට මීටරේ සීරෝ කරා. ඒක බලාගෙන හිටපු මට හොඳටම තේරුනා ලීටර් 5ක් නම් නෙවෙයි ගැහුවෙ කියල. ඒක වුණේ මෙහෙමයි.

ඒ කාලෙ ඩීසල් ලීටරයක් රුපියල් 120ක් වගේ ග‍ානක්. එතකොට ලීටර් 5ක් කිව්වම රුපියල් 600ක් විතර වෙනව. දැන් මම මේ මීටරේ බලන් ඉද්දි තේරුණා ඒක 60ට විතර කැරකෙන කොට නවත්තල ටක් ගාල සීරෝ කරපු බව. ඊට පස්සෙ ලීටර් 5ක් ගැහුව කිව්වම ඒකට අදාල ගාන රුපියල් 600ක් නිසා අපේ හිත ඇතුළෙම සැකයක් ඇති වෙනව අපි දැක්කෙ 60ද 600ද කියල. එහෙම සැකයක් ඇති වෙන්න තරම් ඉක්මණින් අර මනුස්සය ඒක සීරෝ කරල දානව. ඒකට හොඳ පුරුද්දක් ඇති. ඉතින් අපට ඇත්තටම හිතුණත් රපියල් 60ක විතරයි ඩීසල් ගැහුවෙ කියල ඒක ඔප්පු කරගන්න විදියක් නෑනෙ.
සිපෙට්කෝ ඩීසල්...
ඊට පස්සෙ අපේ තාත්ත කිව්ව, නෑ 5ක් නෙවෙයි ෆුල් ටෑන්ක් කියල. එතකොට ඒ මනුස්සය "ආ එහෙමද, මට ඇහුණෙ 5ක් වගේ" කියල ආයෙ ගහන්න පටන් ගත්ත. ඒ පාර නම් සෑහෙන්න ඩීසල් වැදුණ. කොච්චර වැදුණද කියනව නම් කලින් සැරේ 5ක් නම් වැදුණෙ නෑ කියන එක අපට හොඳට තහවුරු වුණා. මොකද අපේ තාත්ත එක සැරයක් ඩීසල් ගැහුවම අර ඔඩෝමීටරේට යටින් තියෙන පොඩි මීටරේ සීරෝ කරන නිසා ගිය දුරට අනුව කොච්චරක් ඩීසල් වදින්න ඕනිද කියන එක ගොඩක් දුරට නිවැරදිව හිතාගන්න පුලුවන්. අපේ වැනට් එක ලීටරේට කිලෝමීටර් 12ක්-14ක් විතර වැඩ කරා මට මතක විදියට.

ඊට පස්සෙ ඒ මනුස්සය ඒ ඩීසල් ටිකට අදාල ගානයි අර කලින් ගහපු ඒවට කියල තව රුපියල් 600කුයි එකතු කරල තමයි ගාන කිව්වෙ. එතකොට වැඩේ හොඳටම මීටර් වෙලා තිබුණ අපේ තාත්ත කිව්ව "නෑ නෑ ඔයා කලින් 600ක ඩීසල් ගැහුවෙ නෑ, ලීටර් බාගයයිනෙ ගැහුවෙ" කියල. එත‍කොට මිනිහ තමන්ගෙ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න හැදුවෙ කොහොමද දන්නවද.

"ඒක වෙන්න බෑ මහත්තය. මේ බලන්න මේ පොම්ප වල ලීටර් බාගයක් ගහන්න දෙන්නෙ නෑ" කියල මීටරේ ලීටර් බාගෙකට සෙට් කරල ගහන්න හැදුව අපට පෙන්නන්න. එතකොට ඒකෙ මොකක් හරි පෙන්නුම් කරනව ඒ ගාන ගහන්න බෑ කියල. අපි ඉතින් මොනව කියන්නද. "යකෝ ඕක ලීටර් බාගෙකට සෙට් කරාම ඒක වදින්නෙ නැති වුණාට එහෙම සෙට් නොකර නිකම් ගහද්දි උඹට ඕනි තැනකින් නවත්තන්න පුලුවන්නෙ" කියන්නද, ඇත්ත කතාව ඒක වුණාට. තවත් සද්ද නොකර උෟ කියපු ගාන ගෙවල ආව ඉතින්.

පස්සෙ දවසක ඔය කතාව කාත් එක්ක හරි කිව්වම එයත් කිව්ව "අපෝ කිරිඳිවැල සමූපකාරෙ ෂෙඩ් එක ඕවට නම ගිය තැනක්නෙ" කියල. දවසක් පත්තරෙත් තියෙනව දැක්ක ඒක ගැන එහෙම කතාවක්. අපි ඉතින් කලින් දැනගෙන හිටිය නම් ඔය රුපියල් දහයක් පහළොවක් ඉතුරු කර ගන්න ඕකට යනවයැ අයි. ඕ. සී. එකත් පහු කර ගෙන. චික් විතරක්.

Sunday, June 1, 2014

තරු දොරටුව

අපි පොඩි කාලෙ දැනට වඩා කොච්චර ලස්සන කතා ගියාද ටීවී එකේ. ඒවායින් එකක් තමයි "රැජණ". මතකද එහෙම එකක් කට්ටියට. පිටසක්වළින් ආපු රාජ කුමාරියක් ගැන කතාවක්. එයාල අපේ ලෝකෙ අයත් එක්ක සම්බන්ධතා පවත්වන්නෙ "තරු දොරටුව" කියල එකක් හරහා. අර ඉංග්‍රීසි කතා මාලාවකුත් තියෙන්නෙ "Stargate" කියල. අන්න එහෙම එකක්.

මේ කතාවෙන් තමයි මම දැන ගත්තෙ තරු දොරටුව කියන සංකල්පය ගැන. ඒ විතරක් නෙවෙයි එහෙම එකක් කියල විශ්වාස කරන එකක් අපේ රටෙත් තියෙනව කියල. මේ වගේ දේවල් ලෝකෙන්ම ආයෙ තියෙන්නෙ ඊජිප්තුවෙයි පේරුවලයි විතරයි කියලත් කොහෙදි හරි මම අහල තියෙනව. ඒ වගේ විශේෂ ස්ථාන කිහිපයක් සමග ආදි කාලයේ සිට පිටසක්වළ ජීවීන් සම්බන්ධතා පැවැත්වූ බවත් ඒ රටවල දියුණු ශිෂ්ටාචාර ඇති වෙන්න මේ සම්බන්ධතා හේතු වුණ බවත් මම අහල තියෙනව. ඒත් ඒව කොයි තරම් දුරට ඇත්තද කියන්න නම් දන්නෙ නෑ මම.
මෙන්න මේ වගේ එකක් ඔය තරු දොරටුව කියන්නෙ...
කොහොම වුණත් ලංකාවෙ තියෙන තරු දොරටුව බලන්න නම් මම ගිහින් තියෙනව. ඒක තියෙන්නෙ අනුරාධපුරේ. කොයි තරම් වාර ගානක් අනුරාධපුරේ ගිිහින් තිබුණත් මේ ගැන හරියටම දැනගෙන ඒක බලන්න යනවමයි කියල හිතාගෙන ගිය ගමනකදි තමයි දැක ගත්තෙ. මට හිතෙන විදියට අපේ බොහෝ දෙනෙක් අනුරාධපුරේ ගියාට මේ කියන තැන ළඟිනුත් ගිහින් ඇති මේ ගැන නොදැන. ඒක ඉතින් අපි ඉතිහාසය ඉගෙන ගෙන තියෙන විදියෙ හෝ අපට ඒක උගන්නල තියෙන විදියෙ වැරැද්දක් හැටියටයි මම නම් දකින්නෙ. ඒ ගැන අපූරු ලිපියක් මෙන්න මෙතන තියෙනව.

කොහොම හරි ඉතින් කතාව මේකයි. ලංකාවෙ තියෙන තරු දොරටුව තියෙන්නෙ අනුරාධපුරේ රන්මසු උයන කියන ස්ථානයේ. එහෙම කිව්වට වැඩි දෙනෙක් දන්නෙ නැතුව ඇති. නමුත් අනුරාධපුරේ ගියාම බොහෝ දෙනෙක් යන තැනක් තමයි ඉසුරුමුණිය. ඔබ ඉසුරුමුණියට ගියාම ඊට දකුණු පැත්තෙන් තිසා වැවේ බැම්ම වෙත යා හැකි පොඩි අඩි පාරක් තියෙනව. මේ අඩි පාරෙන් බැම්ම මතට නැගල දකුණු පැත්තටම පොඩ්ඩ දුරක් ගියහම ආයෙත් දකුණු පැත්තෙ තියෙන නටඹුන් වලට කියන්නෙ රන්මසු උයන කියල. මෙය අනුරාධපුරයේ රජ කළ කිසියම් රජ කෙනෙකුගේ රාජකීය විනෝද ක්‍රීඩා උද්‍යානය ලෙස සැලකෙනව. කවුද දන්නෙ මේකෙ තියෙන පොකුණු වල ඒ කාලෙ රන් මසුන් (Gold Fish) ඉන්න ඇති සමහර විට.
මේ වගේ ලස්සන තැනක් තමයි රන්මසු උයන කියන්නෙ...
මෙතන බොහොම අලංකාරවත් විදියට ගලින් කරවූ කුටි, පොකුණු, කැටයම්, දිය අගල් ආදී අංග රැසක් තියෙනව. ඒ අතර එක් පැත්තක ඇති කුඩා ගල් පර්වතයක මුහුණතේ තමයි මම මේ කියන තරු දොරටුව කැටයම් කරල තියෙන්නෙ.
මේ තියෙන්නෙ රන්මසු උයනෙ තරු දොරටුව...
මේක වෘත්තයක් ඇතුළෙ විවිධාකාර සංකේත කොටල තමයි නිර්මාණය කරල තියෙන්නෙ. සමහරු කියන විදියට එය විශ්වයේ සිතියමක්. එනම් ඈත කාලයේ සිට පිටසක්වළ යම් ජීවීන් කොට්ඨාසයක් අපේ මුතුන් මිත්තන් සමග ගනුදෙනු කළ බවට සාක්ෂියක්. නමුත් මේ ගැන විස්තරාත්මක පර්යේෂණයක් කෙරිල තියෙනවද කියන්න නම් මම දන්නෙ නැහැ. ඒත් ඒ වගේ දෙයක් කළොත් නම් අපි නොදන්න හරිම වැදගත් හා රසවත් තොරතුරු රාශියක් හෙළි වෙන්න ඉඩ තියෙනව කියලයි මට හිතෙන්නෙ.