Tuesday, December 8, 2015

රිසානා, ගල් ගැසීම සහ සිංහයෝ

මතකද රිසානා? ඔව් ඔව් අර අඩු වයසින් සවුදි ගිහින් කඩු පාරින් අවසන් ගමන් ගියේ. දැන් අවුරුදු දෙක හමාරකටත් වැඩියි මගෙ හිතේ.

ආ ඔව් මේ ළඟදිත් සවුදි ගිය එක්කෙනෙක්ව මරන්න නියම වෙලා නේද? මේ පාර නම් ගල් ගහලලු මරන්න යන්නේ. නම නම් දන්නේ නෑ හැබැයි. එච්චර කතාවක් ඇහුණෙත් නෑ තමා ගිය පාර වගේ.

මේ ලියන්න යන්නේ එදා මම ලියපු කතාවක්. ලියන්න යනවා නෙවෙයි ඇත්තටම කලින් එකම කොපි ඇන්ඩ් පේස්ට් කරන්න යන්නේ. එදා මේක ගියේ 2013 පෙබරවාරි 21 ලංකා සී නිව්ස් වෙබ් සයිට් එකේ. මේක ආපහු දාන්නේ කලින් පාර බ්ලොග් එකේ දාන්න බැරි වුණ නිසාම නෙවෙයි අවුරුදු දෙක හමාරකටත් වැඩි කාලයක් ගිහිල්ලත් ඒ කතාව අදටත් වලංගුයි කියලා හිතෙන හින්දා. අර සීනි බෝල කතාවයි නයිට් රේස් කතාවයි ඇරෙන්න.

මෙන්න එහෙනම් කතන්දරේ ගෙඩි පිටින්ම.

රිසානාගේ මරණයේ අතුරු කතා - 1
මුතූර්හි දුප්පත් පවුලක ඉපිද පවුලේ යහපත වෙනුවෙන් බාල වියේදීම රියාල් සොයා සවුදියට ගොස් නොකළ(?) වරදකට ෂරියා නීතියෙන් වැරදිකාරිය වී අලුගෝසුවකුගේ අසිපත් පහරින් ජීවිතයෙන් සමු ගත් රිසානා නෆීක්ගේ මරණය බොහෝ දෙනකුගේ මෙන් මගේද සිත සසල කිරීමට සමත් විය. ඈ වෙනුවෙන් ලියැවුණු ලිපි, කවි, ගී, නිසඳැස් පමණක් නොව ඇයට අත්වූ ඉරණම පිළිබඳ විවිධ පාර්ශ්වයන්ට එල්ල කර ගන්නා චෝදනා වලින්ද පුවත්පත්, බ්ලොග් පිටු හා ෆේස්බුක් පිරී ගියේය. කෙසේ වෙතත් මේ වන විට සාමාන්‍යයයෙන් සිදු වන පරිද්දෙන්ම රිසානාද අමතකව ගොස් තිබේ. රිසානා අමතක වුවත් රටක් වශයෙන් අපට අමතක කළ නොහැකි අතුරු කතා කිහිපයක් ඇගේ මරණයෙන් පසුවද ඉතිරි වී තිබේ. මේ, ඉන් එක් අතුරු කතාවකි.
මා පාසලේදී ඉතා ආශාවෙන් උගත් විෂයයක් නම් සමාජ අධ්‍යයනය හා ඉතිහාසයයි. අපට 7 ශ්‍රේණියේදී මේ විෂයය ඉගැන්වූ ෆාරුක් සර් දිනක් අපගෙන් ඇසූ ප්‍රශ්නයක් වූයේ අප රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන අංශ තුන මොනවාද යන්නයි. අපගේ දැනුමේ හැටියට අප පිළිතුරු දුන්නේ තේ, පොල්, රබර් යනුවෙනි. එහෙත් ෆාරුක් සර් කියා සිටියේ එම පිළිතුර වැරදි බවත් අපට වැඩිම ආදායම උපයා දෙන ප්‍රධාන අංශ තුනම කාන්තාවන් මුල් කර ගත් අංශ බවත්ය. ඒ පිළිබඳ අප හට අවබෝධයක් නොතිබූ බැවින් ෆාරුක් සර් විසින්ම එය පැහැදිලි කරන ලද්දේ මෙසේය.
එක - හවුස්මේඩ්ස්, දෙක - ගාමන්ට්, තුන - තේ
රිසානාගේ සිද්ධිය අළලා ලිපියක් ලිවීමට අවශ්‍ය කරුණු සොයා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2010 සංඛ්‍යාලේඛන වාර්තාව පරිශීලනය කිරීමේදී, උක්ත සිද්ධියෙන් වසර දහයකට පමණ පසුවත් තත්ත්වය වෙනස් වී නොමැති බව මා හට වැටහුණි. මෙම ලිපියෙහි දැක්වෙන දත්ත සියල්ල එම වාර්තාවෙන් උපුටා ගන්නා ලදී.
මිලියන 20ක් වූ ශ්‍රී ලාංකේය ජනගහණයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක්, එනම් මිලියන 1.9ක ජනතාවක්, විදේශයන්හි සේවය කරති. මොවුන්ගෙන් 2010 වසරේ අප රටට ලැබී ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් බිලියන 465ක්, එනම් රටේ සමස්ත විදේශ ඉපයුම් වලින් 50%කි. මෙම දත්තය කියවූ සැණින්, මෙසේ විදේශයන්හි සේවය කරන එක් පුද්ගලයකුගේ සාමාන්‍ය මාසික ආදායම කොපමණද යන්න මා ගණනය කළ අතර එය ආසන්න වශයෙන් රුපියල් 20,000ක පමණ අගයකි. මේ පිරිසට වෘත්තිකයන්, මධ්‍යම මට්ටමේ නිලධාරීන්, පුහුණු ශ්‍රමිකයන් මෙන්ම නුපුහුණු ශ්‍රමිකයන්ද අයත් වන බැවින් අඩුම ආදායමක් ලබන නුපුහුණු ශ්‍රමිකයකුගේ මාසික ආදායම අනිවාර්යයෙන්ම තවත් පහළ අගයක් ගනී (පසුගිය දශකය තුළ විදේශයන්හි සේවය සඳහා පිටත්ව ගිය පිරිසෙන් 70%ක් පමණම නුපුහුණු ශ්‍රමිකයන් වන අතර ඉන් 66%ක් කාන්තාවන්ය). තවද විදේශයන්හි සේවය කරන පිරිසගෙන් 93%ක්ම මැද පෙරදිග රටවල සේවය කළද ඔවුන්ගෙන් ලැබී ඇති ආදායම සමස්ත අගයෙන් 60%ක් පමණි. මෙයින්ද පැහැදිලි වන්නේ මැද පෙරදිග කලාපයේ සේවකයන්ගේ අඩු වැටුප් මට්ටමයි.
තවද, වාර්ෂිකව 250,000ක පමණ පිරිසක්, එනම් දිනකට 700කට ආසන්න පිරිසක්, විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. මෙලෙස 2010 වසරේ පිටත්ව ගිය පිරිසෙන් 49%ක් කාන්තාවන් වන අතර ඉන් 86%ක්ම පිටත්ව ගොස් ඇත්තේ ගෘහ සේවිකාවන් ලෙස සේවය කිරීම සඳහාය.
ඉහත වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ නුපුහුණු ශ්‍රමිකයන්ගේ වැටුප ඉතා පහළ මට්ටමක පවතින අතරම ඒ සඳහා ඇති කේවල් කිරීමේ හැකියාවද ඉතා අඩු බවයි. එමෙන්ම එම රටවල පුහුණු ශ්‍රමිකයන් සඳහා අධික ඉල්ලුමක් සහ ඉහළ වැටුප් තල පැවතියද එම ඉල්ලුමට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයන් සැපයීමට අප රට අසමත්ව ඇති බවත් එහි දැක්වේ.
සමස්තයක් ලෙස ගත් කල විදෙස් ශ්‍රමිකයන්ගෙන් මේ සා විශාල ආදායමක් රටට ලැබුණද එයට සාපේක්ෂව උද්ගත වී ඇති සමාජයීය ගැටලු හේතුවෙන් මෙම ආදායමින් සිදු වන ආර්ථික වර්ධනය,සංවර්ධනයක්බවට පත් කර ගැනීමට නොහැකි වී ඇත. කෙසේ වෙතත් ඉහත දැක්වූ මට්ටමේ මාසික වැටුපක් උදෙසා හෝ විදේශගත වීමට ශ්‍රී ලාංකිකයන් යොමු වී ඇත්තේ අඩු ඒකපුද්ගල ආදායම, රැකියා වියුක්තිය හෝ ඌන රැකියා නියුක්තිය, ඉහළ උද්ධමනය, ණය බර ආදී හේතූන් නිසා බවද උක්ත වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මේ අනුව, අප හමුවේ ගැටලු කිහිපයක්ම පැන නගී. ඉන් ප්‍රධාන වන්නේ රටක් වශයෙන් අප හට සතුටු විය හැකිද යන්නයි. එහෙත් එයට පිළිතුර ඉහත වාර්තාවේ සඳහන් දත්ත වලින්ම පැහැදිලි වනු ඇත. අපගේ මැති-ඇමැතිවරුන් හා නිලධාරීන්, විදේශ රැකියා අවස්ථා ...ක් ලබා දී දුප්පත් කාන්තාවන් ...ක් රට යවා වාර්ෂිකව ...ක මුදලක් උපයනවාආදී වශයෙන් කෙතරම් පාරම් බෑවද එම කාන්තාවන් එම රටවලදී මුහුණ දෙන දුෂ්කරතා, එබඳු තත්ත්වයක් යටතේ පවා උපයන ආදායම් මට්ටම, ඔවුන් පිටරට සිටින කාලයේ ඔවුන්ගේ පවුල්වලට අත්වන ඉරණම ආදිය සලකා බැලීමේදී මේ පිරිස රටවිරුවන්ලෙස වර්ණනා කරමින් විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමෙහි ඇති ඵලය ප්‍රශ්නයට ලක්වීම වැළැක්විය නොහැක.
දෙවනුව, එම වාර්තාවෙන්ම පෙන්වා දී ඇති පරිදි නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියාවන් වෙත යොමු කිරීමට ප්‍රමාණවත් අවධානයක් හා උත්සාහයක් දරා තිබේද යන ප්‍රශ්නය පැන නගී. අප රටෙන් අපනයනය කරන ද්‍රව්‍ය සැලකීමේදී ඒවා හුදෙක් අමුද්‍රව්‍ය ලෙස යවනවා වෙනුවට අගයක් එකතු කර” (Value Addition) අපනයනය කිරීමට යම් අවධානයක් යොමු වී තිබේ. එම කාරණයම මිනිස් බලය සඳහාද ආදේශ කර ශ්‍රමයට වටිනාකමක් එකතු කර ගත්, වඩා ඉහළ වැටුප් තලයන්හි සේවය කළ හැකි පුහුණු ශ්‍රමිකයන් විදෙස් ශ්‍රම වෙළෙඳපොළ වෙත යැවීමටද අපගේ අවධානය යොමු විය යුතුය.
එමෙන්ම රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරන ලද අදාළ වාර්තාව වගකිව යුතු බලධාරීන් විසින් පරිශීලනය කරන ලද්දේද? එසේ නම් එහි දැක්වෙන හඳුනාගත් ගැටලු සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද? එසේ නොමැති නම් ඒ ඇයි? යනාදී ප්‍රශ්න පිළිබඳවද ගැඹුරින් විමර්ශනයක් කළ යුතුව පවතී. විදේශ රැකියා ප්‍රවර්ධනය සඳහා වෙන්වූ වෙනමම අමාත්‍යංශයක් පවා ඇති රටක එවැනි පසු විපරමක් සිදු නොවේ නම් එය තවත් සීනි(බෝල) අමාත්‍යංශයක් ලෙස සැලකීමට රටවැසියන්ට සිදු වනවා නොඅනුමානය.
මේ සියල්ලටත් වඩා, විදෙස් රැකියාවන් සඳහා විශේෂයෙන්ම කාන්තාවන් බහුල වශයෙන් යොමු වීමට බලපාන බිම් මට්ටමේ හේතූන් අධ්‍යයනය කර ඔවුන් ඊට වඩා ඵලදායී ආර්ථික කටයුතු වලට යොමු කර ගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් මේ රටට මෙච්චරයි, අර රටට මෙච්චරයි වශයෙන් විදෙස්ගත වීමේ  වයස් සීමාවන් පැනවීමට වඩා දහස් ගුණයකින් ප්‍රයෝජනවත් වනු ඇත. මේ ආකාරයෙන් ග්‍රාමීය මට්ටමේ කාන්තාව බලගන්වා ඔවුන් බිම් මට්ටමේ සංවර්ධනයේ නියමුවන් බවට පත් කර ජාතික සංවර්ධනයට දායක කර ගැනීමේ යම් යම් වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වේ. එහෙත් ඒවා විධිමත් කර ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ලෙස නුදුරේදී ක්‍රියාත්මක වන දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා හෝ දියත් කළ හැකිදැයි සොයා බැලීම වටී.
අවසාන වශයෙන් සිතන්නට යමක් ලෙස මෙයද සටහන් කර තබමි. රජය පසුගිය කාලයේ හදිසියෙන්ම රථවාහන සඳහා වන බදු ඉහළ දැම්මේ වාර්ෂිකව ඉන්ධන සඳහා අති විශාල විදේශ විනිමයක් වැය වීම නතර කිරීමට බව පවසමිනි. එම විදේශ විනිමයෙන් සැලකිය යුතු කොටසක් අප රටට උපයා දී ඇත්තේ විදේශ රැකියා නියුක්තිකයන් බව පැහැදිලි කරුණකි. එම ධනය ඉතිරි කර දීමට යැයි පවසමින්, සාමාන්‍ය ජනතාව එදිනෙදා කටයුතු සඳහා භාවිතා කරන මෝටර් රථ ප්‍රමාණය අඩු කරන්නේ නම්, කලම්බු නයිට් රේසස් නාමයෙන් හුදෙක් ධනපතියන්ගේ විනෝදාස්වාදය සඳහා දවන ඉන්ධන මිළට ගෙන ඇත්තේ කවුරුන් ඉපයූ ධනයෙන්දැයි දැන ගැනීමට රටවැසියන්ට අයිතියක් ඇත. අපගේ ජාතියේ සංකේතයක් වශයෙන් සිංහයා භාවිතා කරන්නේ, සිංහයාගේ ලක්ෂණයක් බව පැවසෙන සිංහ ධේනුව මහන්සි වී දඩයම් කර ගෙන එන ආහාරය නිකම්ම ගිලදැමීමේ පුරුද්ද නිසා නම්, ජාතියක් වශයෙන් අප ලැජ්ජා විය යුතු නොවේද?

Sunday, October 4, 2015

මෙගාපොලිස්

"මෙගාපොලිස්" කියා සංකල්පයක් ගැන කතාවක් දැන් දැන් ඇහෙන්න පටන් අරන් තිබෙන්නේය. රටේ බස්නාහිර ප්‍රදේශයම මෙගාපොලිස් එකක් කරන්නට යන බවක්ද ඒ අතර ඇහෙන්නේය. ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ මෙගාපොලිස් කියා වචනයක් නැති වුණත් ඒ වචනය හැදෙන්න මුල් වුණා යැයි සිතන "මෙගලොපොලිස්" යන්නට තේරුම දීලා තියෙන්නේ මෙසේය.
A very large, heavily populated city or urban complex
ඉතා විශාල, අධික ජනගහණයක් සහිත නගරයක් නැතහොත් නාගරික සංකීර්ණයක් 
ඒ වගේම "මෙගා" යන්නෙන් "විශාල" කියන එකත් "පොලිස්" යන්නෙන් (polis මිස police නොවේ) "නගරය" යන්නත් (ග්‍රීක් බසින්) කියවෙන නිසා මෙගාපොලිස් සිංහලට නැගිය හැකි සරලම විදිය "විසල් නගරය" යනුවෙන්ය. එතකොට ආණ්ඩුව කියන්නේ රටේ බස්නාහිර ප්‍රදේශයම එක් විසල් නගරයක් කරන්නට යන බවය.

අපේ රටේ බස්නාහිර පළාතට මිස බස්නාහිර ප්‍රදේශයකට කියා වෙනමම සංඛ්‍යාලේඛන නැති නිසා සංසන්දනයට ගන්න වෙන්නේ බස්නාහිර පළාතය. රටේ ජනගහණයෙන් හතරෙන් එකකටත් වඩා බස්නාහිර පළාතේ ජීවත් වන අතර (මූලාශ්‍රය) රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හරි අඩක් පමණ නිපදවන්නේද බස්නාහිර පළාතේය (මූලාශ්‍රය). අධ්‍යාපනය අතිනුත් රැකියා අතිනුත් වැඩි අවස්ථා තියෙන නිසාම රටේ පොදුවේ සිදු වන්න‍ේ ජනතාව අනෙක් පැති වලින් බස්නාහිර පැත්තට සංක්‍රමණය වෙන එකය.

එහෙම එන මිනිසුන් අතරින් සමහරු ප්‍රධාන නගරයකට ගොඩක්ම ළඟින් හරි, හොඳට බස් තියෙන පාරක් අයිනෙන් හරි, ඉඩමක් අරන් ගෙයක් හදාගෙන පදිංචි වෙද්දී, තවත් අය ප්‍රධාන පාරක ඉඳන් කිලෝ මීටර් දෙක තුනක් ඇතුළෙන් හරි, පැය ගානකට සැරයක් බස් එකක් දුවන පාරක් ගාවින් හරි ඉඩමක් අරන් ගෙයක් හදාගෙන පදිංචි වෙන්නේ, තම තමන්ගේ ආර්ථික හැකියාවේ තරම අනුවය.
ලංකාවේ බස්නාහිර ප්‍රදේශය නාගරීකරණය වෙලා තියෙන තරම... (ගත්තෙ මෙතනින්)
ඉතින් මේ අය පදිංචි ප්‍රදේශයි එයාලාගේ ජීවිතයි දිහා බලන කොට, එයාලාගේ බලාපොරොත්තු ඉටු කරන්න අපේ රටේ පවතින ක්‍රමය ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නය ඇති වෙන්නේ හේතු ගණනාවක් නිසාය.

  • තම තමන්ගේ ආර්ථික හැකියාව නිසා සමහරුන්ට අකමැත්තෙන් වුණත් ගන්න සිදු වෙලා තියෙන ඉඩම් වල හැටි දැක්කම සහ ඒවා තියෙන ප්‍රදේශ පදිංචියට කොච්චර දුරට ගැලපෙනවද කියල කල්පනා කළාම
  • ගෙවල් සිය ගණන් මැද්දෙ කර්මාන්ත ශාලා තියෙන හැටියි, ඒවයෙන් පිට වෙන අපජලයයි විස වායුයි අර ගෙවල් වල මිනිස්සු ඉවසන් ඉන්න හැටියි, හිටි ගමන් ඒ සමහර ඒව ගිනි අරන් අර ගෙවලුත් එක්කම අලු වෙලා යන හැටියි දැක්කම
  • රැකියාව කරන තැනට නැත්නම් ළමයින් ඉගෙන ගන්න තැනට කොච්චර ළඟින් හිටියත් එතනට යන්න ගතවෙන කාලයයි, යන්න පාවිච්චි කරන්න වෙන පොදු ප්‍රවාහන සේවා වල කොලිටියයි බැලුවම
  • පොඩි පොඩි ගෙවල් හදාගෙන ගොඩ දෙනෙක් පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයක පාරක් දිගේ ඇවිදන් යන කොට පේන, තැන තැන ගොඩ ගැහිල තියෙන දවස් ගානක් පරණ කුණු ගොඩවල් දැක්කම
  • පොඩි වැස්සටත් යට වෙන පාරවල් වගේම කාලෙන් කාලෙට එන ලොකු වැහි වලට ගෙවල් සිය ගණන් වතුරෙන් යට වෙලා දවස් ගණන් තියෙන හැටි දැක්කම
  • සමහර පැති වලට අලුතෙන් ඇවිත් පදිංචි වුණ උදවියයි කාලාන්තරයක් තිස්සේ ඒ පැති වල හිටපු උදවියයි අතර ඇති වෙලා තියෙන නොහොඳ නෝක්කාඩුකම් සහ සමහර පැති වල සිදු වෙන සමාජ විරෝධී දේවල් දැක්කම
මේවට අමතරව, රජයේ ඉඩම් වල අවුරුදු ගානක් තිස්සේ අනවසරයෙන් පදිංචි වෙලා ඉන්න අඩු ආදායම්ලාභී පවුල්, ඔවුන්ගේ එකතුවෙන් හැදුණු නාගරික වතු සහ ඒවත් එක්ක එකට බැඳිල තියෙන දුරාචාර, විශේෂයෙන්ම කොළඹ හා අවට පැති වලට බලපාල තියෙන තවත් ලොකුම ප්‍රශ්නයක්ය.

ඉතින් මේ මෙගාපොලිස් එකක්, එහෙම නැත්නම් විසල් නගරයක් කරන්න යන්නේ ඔය කියන ප්‍රශ්න අඩු වැඩි වශයෙන් තියෙන විශාල ප්‍රදේශයක්ය. ඒක මේ ආවට ගියාට කරන්න බැරි, අභියෝග ගොඩක් තියෙන, බැරෑරුම් වැඩක් වුණත් මගේ නම් ප්‍රාර්ථනාව හරි සැලැස්මක් ඇතුව හදන මෙගාපොලිස් එකකින් මේ ප්‍රශ්න වලට හරි යන විසඳුම් දෙන්න පුලුවන් වේවා කියන එකය.

Thursday, October 1, 2015

දෙවරක් තුන කීයද?

දෙවරක් තුන කීයද? මේකට උත්තරේ නොදන්න එක වගේම උත්තරේ වරද්දන එකත් දෙකේ පන්තියේදී වුණත් දඬුවම් ලැබිය හැකි වරදක්. දෙවරක් තුන හයයි කියලා චක්කරේ පාඩම් තියෙන ඕනි ළමයෙක් කියයි. ඒත් ඒක බස් වලට නම් අදාල නෑ කියලා තමයි මට හිතෙන්නේ.

ඒ ඇයි?

බස් වල සාමාන්‍යයෙන් තියෙන්නේ දෙන්නෙකුට වාඩි වෙන්න පුලුවන් සීට්. දැන් නම් ගොඩක් බස් වල තුනේ දෙකේ සීට් - ඒ කියන්නේ එක පැත්තක දෙන්නෙකුටයි අනිත් පැත්තේ තුන් දෙනෙක්ටයි වාඩි වෙලා යන්න පුලුවන් සීට් - තියෙනවා තමයි. මේවා නිසා දුර ගමන් බස්වල කෙසේ වෙතත් ළග දුවන බස්වල යන අයට නම් තියෙන්නේ කියලා ඉවර කරන්න බැරි කරදරයක්. ඒ මොන බස් එකක වුණත් පස්සෙම සීට් එකේ වාඩි වෙලා යන කොට ඒකෙ යන්න පුලුවන් ගාන ගැන හිතිලා තියෙනවාද?
අනිත් සීට් එක්ක බැලුවම පස්සෙ සීට් එක පේන හැටියෙන් නම්
ඒකෙ හයක් යන්න පුුලුවන් වෙන්න ඕනි තමයි... ගත්තෙ මෙතනින්...
ඇත්තටම ඒ සීට් එක, දෙකේ සීට් තුනක් එකතු කරලා හදපු එකක් වගේ තමයි. වෙන විදියකින් කියනවා නම්, දිග අනුව ඒක දෙකේ සීට් තුනක දිගට සමානයි කියන්න පුලුවන්. එ්ත් ගොඩක් වෙලාවට දෙකේ සීට් එකක වුණත් ඇතුල් පැත්තේ ඉන්න කෙනාගේ ඇඟේ කොටසක් තියෙන්නේ සීට් එකෙන් එළියේ කියලා අපි ඕනි තරම් දකිනවා. එතකොට ඒ වගේ සීට් තුනක් එකට තියලා හදපු දිග සීට් එකක හය දෙනෙක් යන එක, ඒ හය දෙනා ඉස්කෝලේ ළමයි වගේ පොඩි අය නොවෙන්න, සෑහෙන අමාරු වැඩක්.

එහෙම බැලුවාම දෙවරක් තුන හයක් නොවුණත් "ඔය පස්සෙ සීට් එකේ තව එක්කෙනෙක් වාඩි වෙන්න, ඕක පහකට නෙවෙයි හයකට යන්න හදල තියෙන්නෙ" කියලා කෑ ගහන කොන්දොස්තර මල්ලිලා අයියලා සහ අන්කල්ලා නම් කොච්චර ඉන්නවාද?

Saturday, September 26, 2015

හයිවේ

මේක නම් පරණ මාතෘකාවක්. ඒත් ගොඩක් කාලෙකින් ලියාගන්න බැරුව ඉඳලා වෙලාවක් ආපු නිසා ඔන්න ඔහේ ලියන්න හිතුවා.

හයිවේ කියන සංකල්පය කෙසේ වෙතත් ඒකේ ප්‍රායෝගික භාවිතය ලංකාවේ අපි අතරට ඇවිත් තාම අවුරුදු හතරක් වත් නෑ. එහෙම කියන්නේ ලංකාවේ පළවෙනි හයිවේ එක වෙච්ච සදර්න් හයිවේ එක ඕපන් කරේ අපි කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකෙත් අන්තිම හරියේ ඉන්න කොට (ඒ කියන්නේ 2011 අන්තිම හරියේ) නිසා‍.
මේ ෆොටෝ එක මම ගත්තෙ... 2010දි...
මේ එතනම දැන්... (ගත්තෙ මෙතනින්)
හයිවේ ආපු මුල් දවස් වල, ඕව දිහා ටිකක් විවේචනයෙන් බලන කෙනෙක් මාත් එක්ක කිව්ව කතාවක් මේ. ඉස්සර කොළඹ ඉඳන් ගාල්ලට යන්න පැය තුනක් ගියාලු. දැන් කට්ටිය පැයෙන් ගිහින් පැය දෙකක් ඒ ගමන ගැන කතා කර කර ඉන්නවලු. ඒ නිසා හයිවේ හැදුණා කියලා අපේ අයගෙ කාලය ඉතුරු වීමක් හරි ඵලදායිතාවය වැඩි වීමක් හරි නම් බලාපොරොත්තු වෙන්න බෑ කියලා තමයි එයා කියන්නෙ.

කාලය ඉතුරු වීමයි ඵලදායිතාවයයි කෙසේ වෙතත් හයිවේ නිසා අපේ ජීවිත වල සමහර දේවල් වෙනස් වෙලා කියන එක නම් බැහැර කරන්න බෑ. ඉස්සර ප්‍රායෝගික හේතු මත කරන්න බෑ කියලා අත ඇරලා දාන දේවල් දැන් හයිවේ නිසා කරන්න පුලුවන් වෙලා තියෙනවා. මේ ඒ ගැන කතා තුනක්.

පළවෙනි කතාව

කොට්ටාව පැත්තෙ පදිංචි කෙනෙක්ට නිවාඩු දවසක උදේ වරුවෙ හිටපු ගමන් අාතල් එකක් ගන්න හිතිල, සෙට් එකත් එක්ක මාතර ගිහින් (පොල්හේනෙද කොහෙද) නාලා, දවල් කෑමට ආයෙ ගෙදරත් ආව කියලා මාත් එක්ක කිව්ව. ඒ වගේ ආතල් ඉතින් හයිවේ එක නිසාම තමයි.

දෙවෙනි කතාව

මාතර තිබුණ වැඩසටහනකට හයිවේ එකේම ඇවිත් දවල් කෑමත් හෝටලෙන් ගත්තට පස්සෙ අපේ ටීම් එකේ එක්කෙනෙක්ට ටිකක් අසනීප වුණා. ඉස්සර නම් ඔහොම දෙයක් වුණාම එක්කො මාතරට නැත්නම් වැඩිම වුණොත් කරාපිටියට එක්කගෙන යයි. ඒත් ප්‍රතිකාරත් හොඳයි, වයිෆ්ටත් බලන්න එන්න ලේසියි කියලා, ජයවර්ධනපුර හොස්පිටල් එකට ඇඩ්මිට් කරන්න තීරණේ කරලා හැරෙන තැපෑලෙන්ම තව දෙන්නෙකුත් එක්ක පිටත් කරේ හයිවේ එක නිසාම තමයි.

තුන්වෙනි කතාව

ජොබ් එකට ඉන්ටවීව් එන්න කියලා ලියුමකුයි හොඳම යාලුවෙක්ගෙ වෙඩින් කාඩ් එකයි දෙකම ලැබුණෙ එකම දවසෙ නොවුණාට දෙකම වැටිල තිබ්බෙ එකම දවසට. ඉන්ටවීව් රාජගිරියෙ, වෙඩිම ගාල්ලෙ. ඒත් දෙකෙන් එකක් විතරක් තෝර නොගෙන, ඉන්ටවීව් එකටත් ඉඳලා (ඒක පාස් හොඳේ) මහරගම-ගාල්ල බස් එකක නැගල, ගාල්ලටත් ටිකක් එහා තිබ්බ හොටෙල් එකට කපල් එක පිටත් වෙන්න කලින් යන්න පුලුවන් වුණෙත් හයිවේ එක නිසාම තමයි.

Saturday, July 4, 2015

මීටර් ටැක්සි

බ්‍රහස්පතින්ද උදේ නැගිට්ටම ඇස් දෙක ඇරගන්නත් අමාරුයි. රෑ ඉඳන් ඇස් රිදි රිදී තිබ්බෙ. ඇස් ලෙඩ ද කියල තිබ්බ සැකේ උදේම කන්ෆර්ම් උනා.

එහෙනම් අද නෝ වැඩ. උදේම නුගේගොඩ ගියා වයිෆ් එක්ක බේත් ගන්න.

ඇස් ලෙඩ තමයි. ඇහැට දාන්නයි බොන්නයි බේත් දෙන්නම්. දවස් දෙකකින් ආයෙ ඇවිත් පෙන්නන්න. ගාන රුපියල් දාහයි.

ඩොක්ට වයිෆ්ටත් බෝ වෙයි එහෙනම් නේද.

ඔව් ඔව්. බෝ උනොත් එන්නකො.

බේත් අරන් එලියට බහින කොටම හෙන වැස්සක්. වැස්සෙම ෆුඩ් සිටිය ගාවට දුවල ගිහින් බඩු ටිකකුත් අරන් එතනම ත්‍රී වීල් එකකට කතා කරා. මීටර් ටැක්සියක්.
මීටර් ටැක්සි දැන් හැම තැනම (ගත්තෙ මෙතනින්)
විජයබා මාවතට.

රුපියල් සීයක් ගන්නව.

හා කමක් නෑ.

වැස්ස නිසා නැග්ගට මට මල පැනල. යකෝ මුන් මීටර් කියල ගහගෙන දුවන්නෙ. ඒ උනාට මීටර් ඕෆ්. වැස්ස වෙලාවට හොඳට ගාන කපනව. හිතින් බැන බැන ගෙදර ආව.

සිකුරාද දවල් වෙන කොට වයිෆ්ටත් හැදිල ඇස් ලෙඩ. ආයෙ ගියා බේත් ගන්න. ආයෙ දාහයි.

ඩොක්ට මටත් ඊයෙ හැදිල බේත් ගත්ත. හෙට ආයෙ එන්න කීව. දැන් මේ වයිෆ්ට හැදුන නිසා ආවෙ. හෙටත් මම එන්න ඕනිද ඩොක්ට.

ඔව් ඔව්. හෙට ආවම බලමුකො.

අද නම් නගින්නෙ නෑ මෙතන තියෙන මීටර් ටැක්සි වල. උන්ට පේන්නම පාරෙ යන එකක් නවත්තල නගිනව. එතකොට කඩා පැනල කියයිනෙ.

නෑ නෑ ඒවයෙ නගින්න දෙන්නෙ නෑ. මේකෙ නගින්න.

එතකොට මාත් කියනව හොඳවයින් දෙකක්.

ඔයාල මීටර් කියල නම ගහගෙන නිකන්නෙ දුවන්නෙ. මෙතන ඉඳන් විජයබා මාවතට අසූවක් වත් නෑ මීටරේ දාගෙන දිව්වොත්. ඒ උනාට ඊයෙත් මගෙන් සීයක් ගත්ත. ඒ නිසා මම ඔයාල එක්ක යන්නෙ නෑ. මම කැමති එකක යන්න දෙන්න.

ඒ උනාට එහෙම කියන්න උනේ නෑ.

අපි බස් එකේ යමු අනේ. මට එච්චර අමාරු නෑ.

ඉතින් බස් එකේ ගෙදර ආව.

සෙනසුරාද උදේ ආයෙ ගියා ඇස් පෙන්නන්න.

දැන් අඩුයි. මේ බේත් ඉවර වුනාම බොන්න තව බේත් ටිකක් දෙන්නම්. ඇහැට දාන ඒව දිගටම දාන්න. අද අටසීයයි.

බේත් අරන් වයිෆ් ලියල දීපු බඩු ලිස්ට් එක ගන්න ෆුඩ් සිටියට රිංගුව. එකින් එක එකතු කරල ගන්න අන්තිමේ බලන කොට හෙන බඩු මල්ලක්.

බස් එකේ යන්න හිටියට බැරි වෙයි වගේ. අදත් ත්‍රී වීල් එකක තමයි යන්න වෙන්නෙ.

එලියට ඇවිත් එතන ත්‍රී වීල් පාක් එකේ එකකටම නැග්ග.

විජයබා මාවතට.

සීයක් ගන්නව.

කමක් නෑ යං.

අද ටවුමෙම ලයිට් නෑ මහත්තය. බලන්නකො කලර් ලයිටුත් වැඩ නැති නිසා ට්‍රැපිකුත් නෑ අද.

ඒක තමයි නේද.

අදත් සීයක් ගෙවල ගේ ලඟින් බැහැගත්ත.
කිලෝ මීටර් 1.3ට තමයි මේ රුපියල් සීය (ගත්තෙ මෙතනින්)

Saturday, February 14, 2015

එක මග ගියත්

එක මග ඇවිද ගිය අප

ඉවසනු බැරිම තැන

දෙමගක ගියත් මෙතැනින්

යළි මා හා එක මග යන්න

ඇය එන තුරු

බලා සිටිමි මම

මෙතැන

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.
පින්තූරෙ මෙතන තිබ්බෙ හොඳේ