Sunday, October 4, 2015

මෙගාපොලිස්

"මෙගාපොලිස්" කියා සංකල්පයක් ගැන කතාවක් දැන් දැන් ඇහෙන්න පටන් අරන් තිබෙන්නේය. රටේ බස්නාහිර ප්‍රදේශයම මෙගාපොලිස් එකක් කරන්නට යන බවක්ද ඒ අතර ඇහෙන්නේය. ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ මෙගාපොලිස් කියා වචනයක් නැති වුණත් ඒ වචනය හැදෙන්න මුල් වුණා යැයි සිතන "මෙගලොපොලිස්" යන්නට තේරුම දීලා තියෙන්නේ මෙසේය.
A very large, heavily populated city or urban complex
ඉතා විශාල, අධික ජනගහණයක් සහිත නගරයක් නැතහොත් නාගරික සංකීර්ණයක් 
ඒ වගේම "මෙගා" යන්නෙන් "විශාල" කියන එකත් "පොලිස්" යන්නෙන් (polis මිස police නොවේ) "නගරය" යන්නත් (ග්‍රීක් බසින්) කියවෙන නිසා මෙගාපොලිස් සිංහලට නැගිය හැකි සරලම විදිය "විසල් නගරය" යනුවෙන්ය. එතකොට ආණ්ඩුව කියන්නේ රටේ බස්නාහිර ප්‍රදේශයම එක් විසල් නගරයක් කරන්නට යන බවය.

අපේ රටේ බස්නාහිර පළාතට මිස බස්නාහිර ප්‍රදේශයකට කියා වෙනමම සංඛ්‍යාලේඛන නැති නිසා සංසන්දනයට ගන්න වෙන්නේ බස්නාහිර පළාතය. රටේ ජනගහණයෙන් හතරෙන් එකකටත් වඩා බස්නාහිර පළාතේ ජීවත් වන අතර (මූලාශ්‍රය) රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හරි අඩක් පමණ නිපදවන්නේද බස්නාහිර පළාතේය (මූලාශ්‍රය). අධ්‍යාපනය අතිනුත් රැකියා අතිනුත් වැඩි අවස්ථා තියෙන නිසාම රටේ පොදුවේ සිදු වන්න‍ේ ජනතාව අනෙක් පැති වලින් බස්නාහිර පැත්තට සංක්‍රමණය වෙන එකය.

එහෙම එන මිනිසුන් අතරින් සමහරු ප්‍රධාන නගරයකට ගොඩක්ම ළඟින් හරි, හොඳට බස් තියෙන පාරක් අයිනෙන් හරි, ඉඩමක් අරන් ගෙයක් හදාගෙන පදිංචි වෙද්දී, තවත් අය ප්‍රධාන පාරක ඉඳන් කිලෝ මීටර් දෙක තුනක් ඇතුළෙන් හරි, පැය ගානකට සැරයක් බස් එකක් දුවන පාරක් ගාවින් හරි ඉඩමක් අරන් ගෙයක් හදාගෙන පදිංචි වෙන්නේ, තම තමන්ගේ ආර්ථික හැකියාවේ තරම අනුවය.
ලංකාවේ බස්නාහිර ප්‍රදේශය නාගරීකරණය වෙලා තියෙන තරම... (ගත්තෙ මෙතනින්)
ඉතින් මේ අය පදිංචි ප්‍රදේශයි එයාලාගේ ජීවිතයි දිහා බලන කොට, එයාලාගේ බලාපොරොත්තු ඉටු කරන්න අපේ රටේ පවතින ක්‍රමය ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නය ඇති වෙන්නේ හේතු ගණනාවක් නිසාය.

  • තම තමන්ගේ ආර්ථික හැකියාව නිසා සමහරුන්ට අකමැත්තෙන් වුණත් ගන්න සිදු වෙලා තියෙන ඉඩම් වල හැටි දැක්කම සහ ඒවා තියෙන ප්‍රදේශ පදිංචියට කොච්චර දුරට ගැලපෙනවද කියල කල්පනා කළාම
  • ගෙවල් සිය ගණන් මැද්දෙ කර්මාන්ත ශාලා තියෙන හැටියි, ඒවයෙන් පිට වෙන අපජලයයි විස වායුයි අර ගෙවල් වල මිනිස්සු ඉවසන් ඉන්න හැටියි, හිටි ගමන් ඒ සමහර ඒව ගිනි අරන් අර ගෙවලුත් එක්කම අලු වෙලා යන හැටියි දැක්කම
  • රැකියාව කරන තැනට නැත්නම් ළමයින් ඉගෙන ගන්න තැනට කොච්චර ළඟින් හිටියත් එතනට යන්න ගතවෙන කාලයයි, යන්න පාවිච්චි කරන්න වෙන පොදු ප්‍රවාහන සේවා වල කොලිටියයි බැලුවම
  • පොඩි පොඩි ගෙවල් හදාගෙන ගොඩ දෙනෙක් පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයක පාරක් දිගේ ඇවිදන් යන කොට පේන, තැන තැන ගොඩ ගැහිල තියෙන දවස් ගානක් පරණ කුණු ගොඩවල් දැක්කම
  • පොඩි වැස්සටත් යට වෙන පාරවල් වගේම කාලෙන් කාලෙට එන ලොකු වැහි වලට ගෙවල් සිය ගණන් වතුරෙන් යට වෙලා දවස් ගණන් තියෙන හැටි දැක්කම
  • සමහර පැති වලට අලුතෙන් ඇවිත් පදිංචි වුණ උදවියයි කාලාන්තරයක් තිස්සේ ඒ පැති වල හිටපු උදවියයි අතර ඇති වෙලා තියෙන නොහොඳ නෝක්කාඩුකම් සහ සමහර පැති වල සිදු වෙන සමාජ විරෝධී දේවල් දැක්කම
මේවට අමතරව, රජයේ ඉඩම් වල අවුරුදු ගානක් තිස්සේ අනවසරයෙන් පදිංචි වෙලා ඉන්න අඩු ආදායම්ලාභී පවුල්, ඔවුන්ගේ එකතුවෙන් හැදුණු නාගරික වතු සහ ඒවත් එක්ක එකට බැඳිල තියෙන දුරාචාර, විශේෂයෙන්ම කොළඹ හා අවට පැති වලට බලපාල තියෙන තවත් ලොකුම ප්‍රශ්නයක්ය.

ඉතින් මේ මෙගාපොලිස් එකක්, එහෙම නැත්නම් විසල් නගරයක් කරන්න යන්නේ ඔය කියන ප්‍රශ්න අඩු වැඩි වශයෙන් තියෙන විශාල ප්‍රදේශයක්ය. ඒක මේ ආවට ගියාට කරන්න බැරි, අභියෝග ගොඩක් තියෙන, බැරෑරුම් වැඩක් වුණත් මගේ නම් ප්‍රාර්ථනාව හරි සැලැස්මක් ඇතුව හදන මෙගාපොලිස් එකකින් මේ ප්‍රශ්න වලට හරි යන විසඳුම් දෙන්න පුලුවන් වේවා කියන එකය.

Thursday, October 1, 2015

දෙවරක් තුන කීයද?

දෙවරක් තුන කීයද? මේකට උත්තරේ නොදන්න එක වගේම උත්තරේ වරද්දන එකත් දෙකේ පන්තියේදී වුණත් දඬුවම් ලැබිය හැකි වරදක්. දෙවරක් තුන හයයි කියලා චක්කරේ පාඩම් තියෙන ඕනි ළමයෙක් කියයි. ඒත් ඒක බස් වලට නම් අදාල නෑ කියලා තමයි මට හිතෙන්නේ.

ඒ ඇයි?

බස් වල සාමාන්‍යයෙන් තියෙන්නේ දෙන්නෙකුට වාඩි වෙන්න පුලුවන් සීට්. දැන් නම් ගොඩක් බස් වල තුනේ දෙකේ සීට් - ඒ කියන්නේ එක පැත්තක දෙන්නෙකුටයි අනිත් පැත්තේ තුන් දෙනෙක්ටයි වාඩි වෙලා යන්න පුලුවන් සීට් - තියෙනවා තමයි. මේවා නිසා දුර ගමන් බස්වල කෙසේ වෙතත් ළග දුවන බස්වල යන අයට නම් තියෙන්නේ කියලා ඉවර කරන්න බැරි කරදරයක්. ඒ මොන බස් එකක වුණත් පස්සෙම සීට් එකේ වාඩි වෙලා යන කොට ඒකෙ යන්න පුලුවන් ගාන ගැන හිතිලා තියෙනවාද?
අනිත් සීට් එක්ක බැලුවම පස්සෙ සීට් එක පේන හැටියෙන් නම්
ඒකෙ හයක් යන්න පුුලුවන් වෙන්න ඕනි තමයි... ගත්තෙ මෙතනින්...
ඇත්තටම ඒ සීට් එක, දෙකේ සීට් තුනක් එකතු කරලා හදපු එකක් වගේ තමයි. වෙන විදියකින් කියනවා නම්, දිග අනුව ඒක දෙකේ සීට් තුනක දිගට සමානයි කියන්න පුලුවන්. එ්ත් ගොඩක් වෙලාවට දෙකේ සීට් එකක වුණත් ඇතුල් පැත්තේ ඉන්න කෙනාගේ ඇඟේ කොටසක් තියෙන්නේ සීට් එකෙන් එළියේ කියලා අපි ඕනි තරම් දකිනවා. එතකොට ඒ වගේ සීට් තුනක් එකට තියලා හදපු දිග සීට් එකක හය දෙනෙක් යන එක, ඒ හය දෙනා ඉස්කෝලේ ළමයි වගේ පොඩි අය නොවෙන්න, සෑහෙන අමාරු වැඩක්.

එහෙම බැලුවාම දෙවරක් තුන හයක් නොවුණත් "ඔය පස්සෙ සීට් එකේ තව එක්කෙනෙක් වාඩි වෙන්න, ඕක පහකට නෙවෙයි හයකට යන්න හදල තියෙන්නෙ" කියලා කෑ ගහන කොන්දොස්තර මල්ලිලා අයියලා සහ අන්කල්ලා නම් කොච්චර ඉන්නවාද?