මහා ගංවතුරක් ඇවිත් මාස පහක් යන විට නියඟයක් ඇවිත් වතුරත් කපන තැනට පත්ව තිබේ. එය නිමිති කරගෙන ලියන්නට හිතද්දීම ප්‍රදේශ කිහිපයකටම දැඩි වර්ෂාපතනයක් ලැබෙන බව දැනගන්නට ලැබුණි. ඒත් කොළඹද ඇතුළුව ප්‍රදේශ බොහොමයක ඇති අධික උෂ්ණත්වය හා නිල නොවන වතුර කැපිල්ලට තවත් යම් කාලයක් යන තුරු නැවතුමක් ලැබෙතැයි සිතීම අසීරුය.
වතුර සම්බන්ධ තත්ත්වය එබඳුය. වතුර සම්බන්ධ කතාව දේශගුණයේ හැසිරීම ගැන කතාවේම කොටසකි. ජල චක්‍රය ගැන අප අැසුවේ හතර වසරේ ආරම්භක විද්‍යාවට විය යුතුය. එහි හැසිරීම තීරණය වන්නේ දේශගුණයත් සමගය. එහෙත් දේශගුණ විපර්යාස ගැන අප අසන්නේ වඩා මෑත කාලයේ සිටය. එම සංසිද්ධියත් සමග අපට වතුර ලැබෙන විදියේද විශාල වෙනස්කම් ඇති වී තිබෙන වග අප තේරුම් ගත යුතුය. එසේ නොමැතිව ජනගහණ වර්ධනයත් සමග ජල ඉල්ලුමද වැඩි වන අනාගතයට මුහුණ දීම විහිළුවකි.
අපට ජලය ලැබෙන ප්‍රධාන ආකාරය වැස්සයි. ලංකාවේ වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර් 2,500ක් පමණ බැව් අප අසා ඇත. අපට වැස්ස ලැබෙන ආකාරය වෙනස් වී - එනම් වහින කොට නැති වෙන්න වහින්නත් පායන කොට කර වෙන්න පායන්නත් පටන් ගෙන - ඇතත් අවුරුද්දටම වහින ටික එකතු කර බැලූ විට ලොකු වෙනසක් වී නැත. කොටින්ම කීවොත් total rainfall එක වෙනස් වී නැතුවත් rainfall intensity එක සෑහෙන්න වෙනස් වී ඇත.
ඊයෙ-පෙරේදා ගංවතුර නිසා (ගත්තෙ මෙතනින්) |
ඊයෙ-පෙරේදා නියඟය නිසා (ගත්තෙ මෙතනින්) |
වැස්සෙන් වැටෙන වතුර ටික ජල පෝෂක ප්‍රදේශ හරහා පැමිණ ඇළ-දොළ-ගංගා ඔස්සේ මුහුදට ගලා යන තෙක් ගන්නට ප්‍රයෝජන රාශියක් තිබේ. ඒත් ගොඩක් වෙලාවට ඒ ඒ වැඩේ එ් එ් ආයතනයට බෙදා තිබෙනවා මිසක් කවුරුත් big picture එක දැක ඒ ගැන සිතා වැඩ කරන බවක් පේන්නේ නැත.
එහෙම නැතිව වහින්න කලින්ම වහින්න පුලුවන් කාල වකවානු හා ප්‍රමාණයන් දළ වශයෙන් හෝ ඇස්තමේන්තු කර ඒ ටික එකතු කර තියා ගන්නත් දැනට එකතු කරගෙන ඉන්න ප්‍රමාණ වැඩි නම් ඒවා මුදා හැර අලුතින් එන වතුරට ඉඩ හදා ගන්නත් පුලුවන් නම් කොතරම් අගනේද? වැස්සට පසු ඒ ලැබුණු වතුරෙන් පානීය ජල සැපයුමත් වාරිමාර්ග හරහා කෘෂි ජල සැපයුමත් විදුලිය නිපදවා ගැනීමත් ආදී සියලු දේ හරියාකාරව ඉටු කරගෙන එතැනිනුත් නොනැවතී ගංවතුර පාලනය කර ගන්නත් ඉන් ඉඩ සැලසෙනවා නොවේද? මෙය ඉතා සංකීර්ණ කාර්යභාරයක් සේ පෙනුණත් හෙට දවසේ ජලය සම්බන්ධව ඇති අභියෝග ජය ගන්නට නම් අප මෙය කෙසේ හෝ කළ යුතුම බවයි මගේ හැඟීම.